The-21st-Amendment-to-the-Constitution-is-presented-to-the-Cabinet

ඉදිරිපත් කෙරේද නොකෙරේද යන්න ගැන සැකයක් පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අසීමිත බලතල සීමා කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු තහවුරු කර තිබේ.



“කැබිනට් අමාත්‍යවරු දැන් එම යෝජනාව පක්ෂ නායකයන්ට යොමු කර තිබෙනවා. එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක්වේවි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම යෝජනාව ආවේ නැතොත් තමා ඉල්ලා අස්වන බවට ඇමති හරින් ප්‍රනාන්දු අද සවස දන්වා තිබූ අතර ඔහුට දැන් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවේ.
ජනාධිපතිවරයාට වඩා පාර්ලිමේන්තුව බලගතු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අසීමිත බලතල ලබා දුන් 20 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනයෙන් අවලංගු කිරීමට අපේක්ෂා කෙරේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මඟින් දැනට පවතින කොමිෂන් සභාවල බලතල තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඒවා ස්වාධීන කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නුසුදුස්සෙකු වනු ඇති අතර බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රී ධූරයද අහෝසි වනු ඇත.