20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා සකස් කර ඇති 21 වැනි සංශෝධනය අද (23) දිනයේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නට සිටි නමුත් තම මන්ත්‍රී තනතුර රැකගැනීමට බැසිල් රාජපක්ෂ දරන වෑයමක් ලෙස එය සිද්ධ නොවන තැනට වැඩ සිද්ධ කර ඇති බවට වාර්තා පළව තිබේ.




මෙය ඉදිරිපත් නොකෙරුණහොත් අද (23) රාත්‍රියේ ම ඇමැති ධූරයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

අනිවාර්යයෙන්ම අද දිනයේදී එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසූ ඇමැතිවරයා ඊට එරෙහිව කවුරුන් කුමන්ත්‍රණ කළත් ඒවා සාර්ථක නොවනු ඇති බවත් සඳහන් කළේය.

රට ස්ථාවරත්වයට පත්වීමට 21 වන ව්‍යවස්ථාව අත්‍යවශ්‍ය සාධකයක් බව හෙතෙම සඳහන් කළේය.

කැබිනට් අනුමැතිය ලැබුණු පසු අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට එන බව පැවසූ අමාත්‍යවරයා එහිදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අර්බුදයට පත්ව ඇති අවස්ථාවක පක්ෂ පාට භේදයකින් තොරව රට ගොඩගැනීමේ අරමුණින් අමාත්‍ය ධූර භාර ගත් බව ද හරීන් ප්‍රනාන්දු මෙහි දී පැවසීය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ නව අමාත්‍ය ධූරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.