Shed-owners-house-set-on-fire

මේ දිනවල ඉන්ධන හල් ආසන්නයේ අධික තදබදයකින් යුතුව ඉන්ධන ලබාගැනීම සිදුවන අතර තමන්ගේ අවස්ථාව එනතුරු කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල සිටින ජනතාවට අදාළ අවස්ථාව ලැබෙනතුරු ඉවසිල්ලෙන් සිටිය යුතුව පවතී.


ඇතැම් පිරවුම්හල් වල පෝලිමේ සියල්ලන්ට ඉන්ධන ලබාදෙන්නට බැරිව යන්නේ පිරවුම්හලේ ඉන්ධන තොගය අවසන්වීම නිසාය. එවැනි අවස්තාවල ඊළඟ බවුසරය එනතුරු පාරිභෝගික ජනතාවට පැය ගාණක් රැඳී සිටීමට සිදුවේ. මෙම තත්වය නගරයෙන් දුර බැහැර ප්‍රදේශවල වඩාත් සංකීර්ණවී පවතින්නේ එවැනි තැන්වලට
ඊළඟ බවුසරය පැමිණෙන්නේ දිනකට දෙකකට පසුව වීමෙනි.


කැකිරාව - ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ මේ ආකාරයට රැඳී සිටිමින් ඉන්ධන ලබාගන්නට බැරිව ගිය පිරිසක් අධික කෝපයට පත්ව  කලහ කර ඇති අතර පිරිස පිරවුම්හලේ හිමිකරු සමග අමනාපව ඔහු පදිංචිව සිටින නිවස ඊයේ (21) රාත්‍රියේ ගිනිතබා විනාශකර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.
ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පිරවුම්හලට පැමිණ ඉන්ධන අවසන්වීම හේතුවෙන් කෝපයට පත් පිරිසක් එම පිරවුම්හල් හිමියාගේ නිවසට මෙලෙස ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.ඉන්ධනහල් හිමියාට අයත් බව කියන ඉපලෝගම තිලකපුර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට සැකකරුවන් මෙලෙස ගිනි තබා ඇත.


ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර ගිනි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ පිරවුම්හල් හිමිකරුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාය.
අසල්වාසීන් හා ඉපලෝගම පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.
පාසැල් යන දරුවන් දෙදෙනාගේ පොත්පත් ද මුළුමනින් ම ගින්නෙන් විනාශ ව ඇති අතර, එක් දරුවෙකු සාමාන්‍ය පෙළ විභාගයට හෙට පෙනී සිටිමට නියමිත අයෙකුවීමද ශෝචනීය විය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.