Namal-denies-story-of-Mahinda-hiding-in-Maldives

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැයි 09 සංසිද්ධියෙන් පසු නැගෙනහිර පළාතේ නාවික කඳවුරක හා ඊට යාබද නිකේතනයක ආරක්ෂිතව කාලය ගත කළේය. ඔහු ඊට සතියකට පසු පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණි නමුත් දැනට ප්‍රසිද්ධ මහජන හමුවීම් අත්හිටුවා ඇති අතර ගමන් බිමන් අවම කර තවමත් ආරක්ෂිතව වාසය කරයි.
මෙම පසුබිම යටතේ හිටපු අගමැතිවරයා මාලදිවයිනේ විලා එකක් ලෙස සැකසූ වටිනා නිවාසයක ආරක්ෂා සහිතව වාසය කිරීමට සූදානමක් පවතින බවට එරට ප්‍රවෘත්ති සේවාවක් වන මාලදිවයින් ජර්නලය (TMJ) වාර්තා කර තිබුණි.
මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් රාජපක්ෂ පවුලේ සමීපයෙකු වන අතර මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබා දෙමින් සිටින බව මාලදිවයින් ජර්නලයේ (TMJ) විස්තර කර තිබේ.

වාර්තාවට අනුව මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ නෂීඩ්ට කතා කර ශ්‍රී ලංකාවේ තත්ත්වය සමනය වන තුරු ඔහුගේ පවුලේ අයට මාලදිවයිනේ රැඳී සිටීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවයි.

නෂීඩ්ගේ සමීපතමයෙකු වන ඉන්දියාවේ සෝනු ශිව්දාසානිට අයත් සොනෙවා ෆුෂි හි පෞද්ගලික විලා නිවසක් රාජපක්ෂවරුන්ට මිලදී ගැනීමට නෂීඩ් යෝජනා කර ඇති බව වාර්තා විය.

TMJ වාර්තාව තවදුරටත් කියා සිටියේ සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුලට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක වියදමකට පෞද්ගලික විලා එකක් විකිණීමට එකඟ වූ බවයි. පවුලේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂාව සඳහා නිවාස ලෙස භාවිතා කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අතිරේක විලා එකක් ද මෙම ගනුදෙනුවට ඇතුළත් කර ඇති බව පැවසේ.

වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

තම පියාට ශ්‍රී ලංකාව හැර යාමට අදහසක් නැතැයිද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහතික වූ අතර, තම පියා මාලදිවයිනට යාමට හෝ එහි විලා එකක් මිලදී ගැනීමට සැලසුම් කර තිබීමේ කිසිදු සත්‍යතාවක් නොමැති බව වැඩිදුරටත් පැහැදිලි කළේය.