Asian-netball-players-say-there-is-no-gas

ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා නේවාසිකව පුහුණුව ලබන ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන්ට ආහාරපාන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි  වාර්තා වේ. ඒ මේ දිනවල මෙරට පවතින ගැස් හිඟය මූලික කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ආහාරපාන ලබාදීම නවතා ඇති පසුබිමක බව හෙළිව ඇත. ඒ අනුව ආහාරපාන සඳහා යන වියදම් ක්‍රීඩිකාවන්ට අතින් දරාගැනීමට සිදුව ඇතැයි ක්‍රීඩිකාවෝ කිහිපදෙනෙකු පැවසූහ. එමෙන්ම ආසියානු දැල්පන්දු ශුරතාව සඳහා වන 22නෙකුගෙන් යුත් සංචිතයෙන් අවසන් 15දෙනා තෝරා. ගැනීමේ තේරීම් තරග පසුගියදා බණ්ඩාරගමදී පවත්වා ඇති අතර,

එහිදීද පුහුණුවීම්වලට පැමිණි ක්‍රීඩිකාවන්ට දිවා ආහාරය ලබාදීම වත්මන් දැල්පන්දු බලධාරීන්ට සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් පැහැර හැර තිබේ.අනතුරුව මෙම ගැටලුවට විසඳුමක් ලෙස ලබාදී ඇත්තේ බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පිහිටි නිවසකින් ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ආහාර ඇණවුම් කිරීමයි.කෙසේ වෙතත් මේ වනවිට මෙම ගැටලුව දැල්පන්දු ක්‍රීඩාවට පමණක් බලපා නොමැත. අනෙකුත් සමහර ජාතික සංචිතවලටද මෙම ගැටලුවට මුහුණපෑමට සිදුව ඇතැයි අනාවරණය වේ.

මෙම වසරේ සැප්තැම්බර් මස සිංගප්පූරුවේදී ආසියානු දැල්පන්දු තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන ජාතික සංචිතයේ පුහුණුවීම්වලට මේ ආකාරයේ නොයෙකුත් ගැටලු හේතුවෙන් බාධා එල්ල වී තිබුණි. ජාතික සංචිතයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේවාසිකව පුහුණුවීම් සිදු කිරීමේදී ඔවුනට අවශ්‍ය ආහාරපාන, නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් පහසුකම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මීට පෙර ලබාදී තිබුණද මේ වනවිට එය නිසි අධීක්ෂණයක් යටතේ

සිදු නොවන බව දැල්පන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පැවසීය.යම් හේතුවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාරපාන ලබාදීමට නොහැකි වාතාවරණයක් මතුවන්නේ නම් ඒ සඳහා වන මුල්‍යමය ප්‍රතිපාදන ක්‍රීඩිකාවන්ට මීට පෙර  ලබාදී තිබුණද එය දැන් සිදු නොවන බවද අනාවරණය වේ. කෙසේ වෙතත් මෙම ගැටලුව හේතුවෙන් ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් රාත්‍රී ආහාරය ලෙස ලබාගෙන තිබුණේ පාන් සමග බටර්බවයි හෙළිවනුයේ. මේ හේතුවෙන් ආසියානු දැල්පන්දු ශුරතාවට මාස 04කටත් අඩු කාලයක් තිබියදී ක්‍රීඩිකාවන්ට රාත්‍රී ආහාරය ලෙස පාන් සමග බටර් ආහාරයට ගැනීමට සිදුවීම සෝචනීය කරුණකි. අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු වන අයි.පී. විජේරත්න මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුවත්භාවයක් නොමැති බවත්, එහෙත් මේ සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා බවත්ය.


(පැතුම් ශ්‍රී විජේරත්න)