wimal-speaks
මේ මොහොතේ කළ යුත්තේ ජනාධිපතිවරයා ද ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීම නොවන බවත් ඔහු රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු ගන්නා සියලූ පක්ෂවලින් සැදුම්ලත් ජාතික සභාවකට එකඟ කරවාගෙන අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


ඊයේ (20) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී ‘රට අර්බුදයෙන් ගොඩගත හැකිද?‘ යන තේමාව යටතේ පැවති සිය විශේෂ දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.




දැන් අපි බලමු මේ අරාජික තත්වය පාලිත තත්ත්වයකට ගත හැක්කේ කෙසේද, කියා. ඒ සඳහා පක්ෂය 11ක එකමුතුව හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ අනෙකුත් මන්ත‍්‍රීවරුන් හා එක්ව අපි ඉදිරිපත් කරලා තිබෙනවා අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම පිළිබඳ යෝජනාවලියක්. එම අදහස් ගෞරවනීය මහා නායක ස්වාමීන්වහන්සේලා අනුමත කර නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ වගේම කාදිනල්තුමා ද ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හැමදෙනාම කියනවා අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ඉල්ලා අස් වෙලා බහුපාක්ෂික, රට ස්ථාවර කිරීමේ පාලනතන්ත‍්‍රයක් පිහිටුවීමට ඉඩ සලසන්න කියා. ඒක තමයි එකම ක්‍රමය දේශපාලන විශ්වාසනීයත්වය සෑදීම සඳහා තිබෙන.


අගමැතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රය පිළිබඳව තිබෙන මහජන අප්‍රසාදය අපට නැති කරන්න බැහැ. ඒ නිසා පළමු වන දේ තමයි එම පාලනතන්ත‍්‍රය පූර්ණ ලෙස ඉවත් වීම. ඉන්පසු මහජන විශ්වාසය දිනාගත හැකි අන්තර්කාලීන පාලනතන්ත‍්‍රයක් පිහිටුවිය යුතුයි. එම පාලනතන්ත‍්‍රය මගින් අපි ඉහත කී මෙරට ආර්ථිකයේ හිල් වැසීමේ ක්‍රියාමාර්ග ගන්න  ඕනේ. ජනාධිපතිවරයා සමඟ ඒ පිළිබඳව එකඟතාවකට, ගිවිසුමකට එන්න  ඕනේ. එතැන් සිට රට පාලනය කිරීමේ තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට, අන්තර්කාලීන පාලනතන්ත‍්‍රයට සම්බන්ධ වන හැම පක්ෂයකම නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් එම පාලනතන්ත‍්‍රයට ඉහළින් පිහිටුවිය යුතුයි. එම ජාතික සභාව මගින් තමයි ආර්ථික උපායමාර්ගය හා අනෙකුත් කරුණු පිළිබඳව තීන්දු ගතයුත්තේ. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් කරගෙන, ඔවුන්ගේ වරප්‍රසාද හැකි පමණ අඩු කර ගනිමින් මහජනයාට විශ්වාසය තැබිය හැකි පරිදි සමාජ ස්ථාවරභාවය ඇති කිරීම පිණිස ඔවුන් පියවර ගත යුතුයි. ඒක තුවක්කුවෙන් කරන්න බැහැ. හදවතින් හදවතට, කළ යුතු දේ පිළිබඳව සන්නිවේදනය මගිනුයි ඒ කළ හැක්කේ.




සමහරු කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂත් යන්න  ඕනේ‘ කියලා. ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉතිරි අවුරුදු දෙකහමාරට ජනාධිපති වෙනවා. දැන් හැංගිලා ඉන්න බැසිල් මහත්තයා ඇවිත් ‘මට 113 හදන්න පුළුවන්‘ කියලා ඇවිත් 113 හදලා පෙන්නුවොත් ගෝඨාභය මහත්තයා ගිහින් තියෙන්නෙ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්නනේ. ‘කපුටා කමිං ටු ප්‍රසිඩන්ට් හවුස්‘. ඒකද කරගන්න  ඕනේ. එහෙම නැතිව 113 පෙන්වන්න දෙන්නෙක් පොරකෑවොත් කිසිම කෙනෙකුට  113 නැති වුණොත් මොකද වෙන්නේ? කාටත් තක්කු මුක්කු වෙලා ඉන්නයි වෙන්නේ. මේක තක්කු මුක්කු වෙලා ඉන්න පුළුවන් වෙලාවක් ද? දැන් කරන්න  ඕනේ ජනාධිපතිත් ඉවත් කරලා රට තවදුරටත් අස්ථාවර කරන එක නොවෙයි. දැන් කරන්න  ඕනේ ඉන්න ජනාධිපතිවරයාට තනි තීරණ ගන්න බැරි විදිහට වැඩපිළිවෙළකට සහ සාමූහිකව තීන්දු තීරණ ගන්නා ඉහත කී ජාතික සභාවට එකඟ කරවාගෙන රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි අන්තර්කාලීන පාලනතන්ත‍්‍රය පිහිටුවීමයි. මේ දේ නොකර වෙන වෙන හොරගල් අහුලන අය කරන්නේ මේ අස්ථාවරභාවය වැඩෙන්න ඉඩ දී බලා සිටීම. ඒ වගේම එම අන්තර්කාලීන පාලනතන්ත‍්‍රය හැදීමට ඉඩ දී ඉවත් නොවන පිරිස කරන්නෙත් ඒකමයි. වයසක අය වෙනුවට තරුණ අය දාලා කුට්ටම ඇනුවාට දැන් වැඩක් නැහැ.


සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත‍්‍රයක් මේ මොහොතේ පිහිටුවීමට නොහැකි වුවහොත් ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය. ගෑස් නැතිව ලතවෙන අම්මාට, ඉන්ධන නොමැතිව ලත වෙන තාත්තාට, විදුලිය නැතිව අන්තර්ජාලයට යන්න බැරිව තරහින් සිටින තරුණයාට මේ මොහොතේ හිතන්න දෙයක් තිබෙනවා. අප මේ අරාජිකත්වය දිනෙන් දින වැඩෙන්න ඇරියොත් ‘ලිබියාව වගේ රාජ්‍යයක් නොමැති රටක් බවට ඊළඟට ඉතිහාස පොතේ ලියවෙන රාජ්‍යය ශ්‍රී ලංකාව‘ බවට පත්වේවි. ඒ නිසා එතැනට මේ රට ඇදවැටීමට ඉඩ දීමට අපට අයිතියක් නැහැ.