jehan-appuhamy-protest-galleface

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට ඊයේ (22) පැමිණියේය.


දින දෙකකට පෙර කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගනිමින් අනතුරුව කිලෝග්‍රෑම් 35 ක් පමණ බර වෙතැයි සැලකෙන ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණි ඔහු
පැය 36කට වඩා කුසට අහරක් නැතුව, යටිපතුල් පැළෙනකම් තාර පාරෙ ඇවිදිමින් යේසුස් වහන්සේ වින්ද දුක් අනුගමනය කරමින් මේ මහාබර අරගල භූමියට මුසු කළේය.
විශාල කලාකරුවන් පිරිසක් මෙන්ම කිතුණු බැතිමතුන් රැසක් මීට එක් විය.මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද හැඳල හන්දියේදී  ඔහු සමග එක්විය.
 සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර (කූඹියෝ ප්‍රියන්ත) මහතාද දිනකට පෙර ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළ අතර ජෙහාන් අප්පුහාමි ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර පසුව දෙන්නාම සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කෙරිණ.
මියගිය තමන්ගේ මිනිසුන් වෙනුවෙන් ජීසස් වෙනත් වෙසකින් මහපොලවට පැමින සිටි බව කළන ගුණසේකර අද (23) සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබේ. එහි මෙසේ දැක්වේ.

මම ඊයේ ජීසස් ව දැක්කා….
මියගිය තමන්ගේ මිනිසුන් වෙනුවෙන් ජීසස් වෙනත් වෙසකින් මහපොලවට පැමින සිටියා…
මොහොතක් මගේ උරහිස් මතත් විඩා නිව්වා…..
…ජෙහාන්….අරගලයට ජය