student-death-kandy

මහනුවර ප්‍රදේශයේ උපකාරක පන්තියකට යන බව පවසා මිතුරන් පිරිසක් සමග ඉකුත් 23 වැනිදා දහවල් රඹුක්කන, ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල නැරඹීමට පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවකු දිය ඇල්ලෙන් ඇදවැටී මරණයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය පැවැසීය. මෙසේ මියගොස් ඇත්තේ පංසලවත්ත,

නත්තරම්පත පදිංචිව සිටි මාදිත දනංජය ගුණසේකර (17) නමැති මහනුවර ප්‍රදේශයේ පාසලක 12 වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවකු බවත් මව පියා ඇතුළු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල එකම පිරිමි දරුවා බවත් පොලිසිය පවසයි.

උපකාරක පන්තියට පැමිණ මිතුරන් නවදෙනකු එකතුවී මහනුවර නගරයේ සිට රඹුක්කන, ඉහළකෝට්ට දුම්රිය ස්ථානයට දහවල් දොළහ හමාරට පමණ පැමිණි පිරිස දුෂ්කර මාර්ගය ඔස්සේ මීයන් ඇල්ල බැලීමට ගමන් කරමින් සිටිය දී මද දුරක් යන විට මිතුරන් කියා ඇත්තේ ලිස්සන නිසා ගමන යාමට නොහැකි බවකි. පසුව මියගිය මාදිත ඡායාරුපයක් ගැනීමට යැයි කියා අඩි කිහිපයක් යනවාත් සමගම පය ලිස්සා අඩි පනහකට අධික ප්‍රපාතයට වැටී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවූ සිසුවා  මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි  බව පොලිසිය පැවසීය.

මාවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.එම්, ආර්.බී. ගුණවර්ධන මහතාගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හා මිය  ගිය සිසුවාගේ මිතුරන් දෙදෙනකු හා මව පියා ලබාදුන් සාක්ෂි සැලකිල්ලට ගනිමින් උසක සිට පහළට ඇද වැටීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූවක් බවට මාවනැල්ල මූලික  රෝහලේ හදිසි මරණ පරික්ෂක යූ.එම්.ටී.බී.ඩබලිව්. උලගොඩ මහතා නිගමනය කළේය.