cabral-in-court-ajith

ශ්‍රී ලංකා රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211 ක) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා,

ලබන ජූනි මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ (25) ඔහුට සිතාසි නිකුත් කළේය. මෙලෙස සිතාසි සහ විදෙස් ගමන් තහනම නිකුත් කෙරුණේ අංක 32/7, පාසල් මාවත, නාවල පදිංචි හිටපු මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාටය. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (අ) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන්නැයි නාලන්දාරාම, නුගේගොඩ ලිපිනය සඳහන් තීනියාවල පාලිත හිමියන් විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත්  කෙරුණි.  නීතිඥ ඒ. නැපටආරච්චි මහත්මිය විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම්කර තිබුණේ හිටපු මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එවකට එනම් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි වගඋත්තරකරු ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ නියුතුව සිටි ඉමාඩ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිලෙන් දක්වා ඇත. අදාළ මුදලින් සියයට 87ක මුදලක් එකී ඉමාඩ් ෂා සුබයිර් යන අයගේ සහ ඔහුගේ බිරිඳගේ අවශ්‍යතාවන් සඳහා වියදම් කර ඇති බව ද

පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.  ඉමාඩ් ෂා සුබයිට් යන අයට එරෙහිව  ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගණනාවක් යටතේ නඩු පවරා ඇති අතර, එම චෝදනාවලට එකී තැනැත්තා වරදකරු කර වසර 12ක සිරදඬුවමක් පනවා ඇති බව ඇමෙරිකානු අධිකරණයට දෙපාර්තමේන්තුව ඉකුත් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා එරට මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

වගඋත්තරකරු මීට පෙර ද වංචා දූෂණ රාශියක් කරමින් ශ්‍රී ලංකා රජයට පාඩු සිදුකොට ඇති අතර, දූෂිත ලෙස සිදුකළ ගනුදෙනුවක් වන හෙජින් ගනුදෙනුවේද රුපියල් බිලියන 10.2ක පාඩුවක් සිදුකර ඇති බවත් එය කෝප් කමිටුව මගින් ඉකුත් 2016 වර්ෂයේ අගෝස්තු මස 25 වැනි දින හෙළිකර ඇති බවත් පැමිණීලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.  වගඋත්තරකරු ශ්‍රී ලංකා මහ බැංකුවේ  අධිපති වශයෙන් 2005 වර්ෂයේ සිට 2015  දක්වා කාල සීමාවේ සිදුකළ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මගින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 10ක මුදලක් අහිමි වී ඇති බවට වෝහාරික විගණන මගින් හෙළිවී ඇතැයි ද පැමිණිලිකරු සිය පැමිණිලෙන් අධිකරණය දැනුවත් කර ඇත.

වගඋත්තරකරු මහා පරිමාණ මුදල් වංචා ගණනාවක් සිදුකර තිබුණද ඔහු රජයේ ඉහළම නිලධාරීන්ගේ ආරක්ෂා සහ රැකවරණය

යටතේ සිටින හෙයින් පොලිසිය හෝ නීතිපතිවරයා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව ද පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වගඋත්තරකරුගේ විදෙස් ගමන්  තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. පෙත්සම්කාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.


 -නිමන්ති රණසිංහ-