slpp-internel-meeting

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ ගාලගෝට්ටියක් බවට පත්කරමින් බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. මෙම ගැටුම් අතර අරුන්දික -තිස්ස කුට්ටි වාදය, නාමල් - ඩලස් අතර වාදය හා පවිත්‍රාගේ කතාවකට සියල්ලන් විරුද්ධවී කෑගැසීම විශේෂ විය.
පවත්නා ආර්ථික තත්ත්වය හා භාණ්ඩ මිල පාලනය යන කරුණු පිළිබදව අවධානය යොමුකරමින් ආරම්භ වී ඇති  සාකච්ඡාව අන්තර්වාර ආණ්ඩුව පිළිබදව අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීම ආරම්භ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා විය.


අරුන්දික ප්‍රනාන්දුට බාධා කරමින් නැගී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කළේ 69 ලක්ෂයක ජනතාව ජන්දය ලබාදී ඉන් අනතුරුව මහා මැතිවරණයද පොහොට්ටුව ජයග්‍රහණය කළේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි බහුතරයක් ඇති බවත් ඒ අනුව ආණ්ඩුව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවත් තිස්ස කුට්ටිආරච්චි කියා තිබේ.

අන්තර්වාර ආණ්ඩුයැයි කියමින් අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතාද විපක්ෂය සමඟ එක්වී කුමන්ත්‍රණය කරමින් සිටින බව පවසමින් ඩලස් අලහප්පෙරුම මහතා ඉලක්ක කර කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වාග් ප්‍රහාර එල්ල කර ඇති අතර මෙයට නාමල්ද කරුනු එකතු කරමින් තැන් තැන් වල පරස්පර සහිත එක් එක් දේ කීම ඩලස්ගේ මෑත පුරුද්දක් බව පෙන්වා දී ඇත.

එහිදී නැගී සිටි ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇත්තේ තමන් කිසි විටෙකත් කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නොවන බවත්, තමන් එළිපිට කතාකරන පුද්ගලයෙක් බවත්ය.

මේ ආණ්ඩුව අලුත්විය යුතු බවට තමන් මීට පෙරද පවසා සිටිය බවත් ඊට කිසිවෙක් ඇහුම්කන් නොදුන් බවත් පැවසූ අලහප්පෙරුම මහතා තමන් මේ මොහොතේද පවසන්නේ ආණ්ඩුව අලුත් විය යුතු බව යැයි කීය.



රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම යනු තමන් විසින් දේශපාලනයට රැගෙන ආ පුද්ගලයෙක් බවත්, ඔහු පිළිබදව තමන් ඉතා හොඳින් දන්නා බවත්, ඩලස් කිසිසේත්ම පසුපසින් සිට පිහියෙන් අනින පුද්ගලයෙක් නොවන බවත්ය.

නැවතත් නැගී සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කර ඇත්තේ මේ වන විට බලඅරගලයක් සෑදී ඇත්තේ රාජපක්ෂ පවුල තුළ බැවින් එය විසඳාගත යුත්තේද රාජපක්ෂ පවුල තුළම බවයි.

එම කතාවත් සමඟ එක්වර නැගී සිටි නාමල් රාජපක්ෂ මහතා අරුන්දික ප්‍රනාන්දු මහතාටද කෝපයෙන් බැණවැදී ඇත.



ජනාධිපතිවරයාද මන්ත්‍රීවරුන් අමතමින් සදහන් කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉවත්වීමට දැනුම් නොදුන් බවයි.

තමන්ට සියලු දේශපාලන කරුණුවලට වඩා තමන්ගේ සහෝදරයා ලොකු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ දැනට 117 ක් සිටින බවත් අනෙක් අය ඊට වැඩි යයි කියයි නම් 113 ක මන්ත්‍රී කණ්ඩායමක් සමඟ එන පුද්ගලයෙකුට අගමැති ධූරය ලබාදීමට තමන්ට සිදුවන බවයි.

යළිත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද නැගිට අන්තර්වාර ආණ්ඩු සංකල්පය විවේචනය කරමින් කතා කර ඇති අතර ඒ සමඟම රැස්වීම උණුසුම් තත්ත්වයක් ඇතිකර තිබෙයි.

පසුව සාකච්ඡාව දිගින් දිගටම ගැටුමක් කරා වර්ධනයවීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී රැස්වීම අවසන් කර ඇත.