රජයෙන් ඉවත්ව ස්වාධීනවූ ශ්‍රීලනිප කණ්ඩායමේ සහය ලබාගන්නට පසුගියදා පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර හිටපු ජනපති මෛත්‍රී පවසා තිබුනේ කිසිදු ඇමතිධූරයක් තම කණ්ඩායම භාර නොගන්නා බවයි. මේ අතරවාරයේ ඊයේ (10) දිනයේද ජනපති ඔවුන් නැවත තමන්ගේ සහයට හරවාගන්නට උත්සාහයක නියැළුණත් සාර්ථක නොවීය.
දැන් වාර්තාවන්නේ ස්වාධීන වූ පිරිස් යළි රජයට සම්බන්ධ කරගැනීමට යටින් යන මෙහෙයුමක් ආරම්භවී ඇති බවයි.
මෙහිදී මුදල් හෝ තනතුරු වරදාන ලබාදීම සිදුවන බවද ආරංචි මාර්ග සදහන් කරයි.


කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය.
නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්‍රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කර තිබේ.
මෙම නියෝජ්‍ය ඇමති ධූරය හිමිව තිබුනේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුවයි. රාජපක්ෂ වරුන් තවදුරටත් ඇමතිකං නොකරන ප්‍රතිපත්තිය මත ඔහු එම තනතුරින් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට ශාන්ත බන්ඩාර තනතුර ලබාගෙන ඇත.


මෙම අවස්ථාවේ රටේ උද්ගතව ඇති අර්බුදය හමුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය එතරම් වැදගත් කමක් ඇති නව පත්වීමක් නොවන අතර විදුලි බල හා බලශක්ති වැනි අත්‍යවශ්‍ය අමාත්‍යංශවල කැබිනට් ඇමති ධූර පවා හිස්ව තිබියදී ජනපතිගේ අවධානය දේශපාලන ක්‍රීඩාව කෙරෙහි පමණක් යොමුව ඇති සෙයක් පෙන්නුම් කරයි.
මේ අතර ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිනොගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තව දුරටත් කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද පවසා තිබේ.
ඉදිරියේදී තවත් කිහිපදෙනෙකුද රජය දෙසට හැරී ස්වාධීනතාවයෙන් මුදවාගැනීමේ ඇපයක් ලෙස ඇමති ධූරවලට එක්වනු ඇතැයි පැවසේ.