rambukkana-dilum

ඉන්ධන මිල පහළ හෙළන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවේදී සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ස්ථානයට ඊයේ (21දා) ගොස් ප්‍රදේශවාසීන් සමග කතාබහක නිරත විය. එහිදී ප්‍රධාන සාක්ෂිකරු ලෙස අධිකරණය පෙනී සිටි ඩබ්ලියු.ඩී. සුසන්ත අනුර කුමාර නමැති අය විසින් සරත් ෆොන්සේකා මහතාට සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය. තමන් ඇතුළු ප්‍රදේශවාසීන් කණ්ඩායම ඉන්ධන බවුසරයක් දුම්රිය මාර්ග හරස්වන ලෙස නවතා විරෝධතාවක් දැක්වූ අතර, කිසිදු ආකාරයකින් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ නොකළ බවත්, සවස 2.30 පමණ වන තෙක් විරෝධතාව සිදු කළ බවත් සදහන් කළේය.



පසුව ගල් ප්‍රහාරයක් දෙපාර්ශ්වයෙන්ම ඇතිවූ අතර විරෝධතාවට එක්වූ පිරිස් පොලිස් නිලධාරින්ගෙන් සමාව ගෙන සමථයකට පත්වූ අතර, සවස 5.00ට පමණ විලා පින්නවල හෝටලයේ නැවතී සිටි කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිවිල් වැසියන් දෙසට රබර් උඩ තුනක් යොදා ප්‍රහාරයක් එල්ල කර කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර,  එහිදී විරෝධතාවට සිටි පිරිස පසුබසිදී එදෙසට පොලිස් නිලධාරීන් වෙඩි තැබූ බවද ෆොන්සේකා මහතාට කරුණු පැහැදිලි කළේය. විරෝධතාවට පැමිණ එක්වූ පිරිස් පසුබසිද්දී මාර්ගයේ එක් පැත්තක නවතා තිබූ ත්‍රිරෝද රථයටද කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරියෙකු ගිනි තැබූ බවත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ රඹුක්කන ප්‍රදේශයේ  සිටින ලේකම්වරයෙකුගේ ආධාරකරුවෙකු පැමිණි ඉන්ධන පිරවුම්හලට හා ඉන්ධන බවුසරයට ගිනි  තැබීමට උත්සාහ දැරූ බවත් ප්‍රදේශවාසීන් විසින්  ඉන්ධන පිරවුම්පලේ ගින්න මැඩ පැවැත්වූ බවත් පවසා සිටියේය.



රඹුක්කන පොලිස් ස්ථානාධිපති හෝ එම නිලධාරින් කිසිවෙක් තමන්ට පහර නොදුන් බවත්, තමන් ඇතුළු පිරිස ආහාර පිස ඔවුන් හා ආහාර ගත් බවත්, පහර දීම් සහ ගිනි තැබීම් සිදුවූයේ සවස 4.00න් පසුව බවද ඔවුහු ෆොන්සේකා මහතාට දන්වා සිටියහ.  එසේම තමන් ඇතුළු පිරිස කිසිදු ලෙසකින් අයුතු ජනරාශියක් ලෙස ඉන්ධන පිරවුම්හලට  හෝ බවුසරයට ගිනි තැබීමට උත්සාහ නොකළ බවට අවට තිබෙන සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වන බවත් වෙඩි වැදී සිටි අය පවා රෝහලක් වෙත රැගෙන යාමට පොලිස් නිලධාරින් ඉඩක් ලබා නොදුන් බවද හෙතෙම සදහන් කළේය.  පෙරේදා (20දා) රාත්‍රියේ අධිකරණයට රැගෙන යෑමට පෙර පොලිස් නිලධාරීන් තමන්ට පහර දන බවට හා සත්‍ය කීමෙන් වැළකී සිටින ලෙසත් තර්ජනය කළ බවද ඒ සම්බන්ධයෙන් තමන් පෙරේදා (20දා) රාත්‍රියේදී මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා ඉදිරියේ පවසා සිටියේය.


  -පී. ශාන්ත බණ්ඩාර -