ඇති වී ඇති අර්බුදකාරී තත්වය සමග පාර්ලිමේන්තුව විසිරවිය හැකිද යන්න බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති මාතෘකාවකි. මෙහි දැක්වෙන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ආකාරයන්ය. 

පාර්ලිමේන්තුවේ නිල කාලසීමාව වසර පහක් වන අතර, පාර්ලිමේන්තුවේ කාලය වසර දෙක හමාරක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(අ) වගන්තියේ එය දක්වා තිබේ. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසිරවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතිය යටතේ යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි අතර,



ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ නව මහ මැතිවරණයකට යැමට අවස්ථාව හිමි වේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අගමැතිවරයාට හෝ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී එය ජයග්‍රහණය කළහොත් අග්‍රාමාත්‍ය ධුරය දරන පුද්ගලයාගේ එම ධුරය අහිමි වන අතර අමාත්‍ය මණ්ඩලය විසිරී යාම සිදු වේ. එවිට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන මන්ත්‍රීවරයා නව අගමැතිවරයා ලෙස පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට හිමි වේ. මෙහිදී කිසිවිටෙක පාර්ලිමේන්තුව විසිරීයාමක් සිදු නොවේ. එමෙන්ම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම හේතුවෙන් අග්‍රාමාත්‍ය තනතුර අහිමි වූ පුද්ගලයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ හැකි අතර,



ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවේ. ආණ්ඩු පාර්ශ්වයට බහුතරය නොමැති  බව දක්වමින් හෝ විශ්වාසය නොමැති බව දක්වමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය හදිසියේ විවාදයට ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවිය යුතුය. ඒ සඳහා කථානායකවරයා පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළ යුතු අතර, මන්ත්‍රීවරුන්ගේ බහුතරය ඒ සඳහා අනුමැතිය හිමි වුවහොත් ස්ථාවර නියෝග අහිටුවා එම යෝජනාව විවාදයට ගැනීමට හැකියාව තිබේ. එලෙස විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කළද පාර්ලිමේන්තුව විසිරවීමක් සිදුනොවන අතර තනතුරු දැරූ මන්ත්‍රී ධුර පමණක් වෙනස් වේ.
|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිර වීමට නම් පාර්ලිමේන්තුවේ නිල කාලසීමාව අවසන් වීම, වසර දෙකහමාරකට පසුව ජනාධිපතිවරයා විසින් විසිරවීම හෝ බහුතර මන්ත්‍රී පිරිසකගේ අනුමැතිය  සහිතව යෝජනාවක් ඉදිර්පත් වීම අවශ්‍යය.

(චාමර සම්පත් )