nalaka-godahewa-speaks

ආණ්ඩු පක්‍ෂයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 39 දෙනා හැර අන් කිසිවකුත් ආණ්ඩුවට විරුද්ධ බව මෙතෙක් ප්‍රකාශ කර නැතැයි සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ (26) පැවසීය.  ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 113කගේ බහුතරයක් නොමැති බවට උදය ගම්මන්පිල මහතා කර ඇති ප්‍රකාශය වැරදිද නිවැරදිද කිව හැක්කේ ඔවුන් ආණ්ඩුවට විරුද්ධ අයගේ විධිමත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය. රටේ ආර්ථිකය ගොඩගැනීමට නම් දේශපාලන ස්ථාවරභාවය ඇතිකරගත යුතු බවත්,

පවතින  දේශපාලන අර්බුදය විසඳාගැනීමට ජනාධිපතිවරයා දැඩි උත්සාහයක් ගන්නා බව ද ආචාර්ය නාලක ගොඩහේවා මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. වත්මන් රජයට ඉකුත් පාර්ලිමේන්තු  මැතිවරණයේදී ඉතා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හිමිවූ බවත්, පවතින දේශපාලන අර්බුදය විසදාගැනීම සඳහා ඇමති මණ්ඩලය ඉල්ලා අස්කරවා රජය සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පක්‍ෂවලට ආරාධනා කළත් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බව කී ඇමතිවරයා, එම අවස්ථාවේ එකගතාවක්  ඇතිවුයේ නම් සර්වපාක්‍ෂික හෝ බහු පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය හැකිව තිබූ බව ද කීය.  ඒ නිසා ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ සුවිශේෂ සංශෝධනයක් කරමින් තරුණ ඇමති මණ්ඩලයක් පත්කර ක්‍රමවේදයේ වෙනසක් කර ඇතැයි කී ගොඩහේවා මහතා ජනාධිපතිවරයා දැඩි තීරණවල නොසිට ඉතා නම්‍යශීලීව කටයුතු කරන බව ද සඳහන් කළේය.



තමන් කිසි විටෙකත් ඇමති තනතුරු ඉල්ලා  නැතැයි කී ඇමතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලැබී දිනක් ඇතුළත ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය ඇතිකරගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් සිදුකිරීම සඳහා පූර්වාදර්ශයක් දීමට බව ද පැවසීය. තමන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයකු ලෙස  රටේ ඕනෑම අරගලයක් විසඳාගත යුත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බවට විශ්වාස කරන්නේ යැයි ද ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය. ජනතාවට සත්‍ය තොරතුරු දීමට කටයුතු කරන  ලෙස තමන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙන බව කී ඇමතිවරයා ඔවුන්ගේ වගකීම ආණ්ඩුව ආරක්ෂා කිරීම නොව රට ආරක්ෂා කිරීම බව ද කීවේය.



පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ පරීක්‍ෂණ සම්බන්ධයෙන් රජයට සැඟවීමට කිසිත් නැතැයි කී ඇමතිවරයා කාදිනල්තුමාට අවශ්‍ය නම් තවත්  තොරතුරු දිය හැකි බවත්, රජය ප්‍රකාශ කරන සත්‍ය පිළිනොගන්නා කොටසක් සිටින නිසා දුර්මත සමාජගත වී ඇති බවත් සඳහන් කළේය.සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ භාණ්ඩ මිල ඉහළයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් දීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කරගෙන යන බවයි.

 -ඩයනා උදයංගනී-