motor-bike-down

යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමට නොහැකිව දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු පෙරේදා (16) රාත්‍රියේ මියගොස්  ඇති අතර තවත් සිසුන් දෙදෙනකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.  මෙම සිවු දෙනා විනෝදය සඳහා එක් යතුරුපැදියකින් පැමිණ ඇති බවත් යතුරුපැදිය අඩි හැත්තෑවක් පමණ ප්‍රපාතයකට වැටී ඇති බවත් පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලිසිය සඳහන් කරයි. මියගොස් ඇත්තේ ගලේවෙල පුවක්පිටිය නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි බිස්සුල් හාෆික් හම්නිදාස් (16), නව්සාඩ් අලි මුසාෆික් (16) යන දෙදෙනා බවට හඳුනා ගෙන ඇත.

යතුරු පැදියේ ගමන් කළ අනෙක් සිසුන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මෙම තරුණයන් හතරදෙනා පෙරේදා (16) පස්වරුවේ නෝම්බි උපවාසය හමාර කර නිවසේ සිට යතුරුපැදියකින් දඹුල්ල වෑමැඩිල්ල ජලාශය ප්‍රදේශයට අතුරු මාර්ගයකින් පැමිණ ඇති අතර ඔවුන් රාත්‍රී 9ට පමණ නැවත නිවෙස බලා ගමන් කරමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ පහළ ප්‍රපාතයට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

  අනතුර සිදුවන අවස්ථාවේදී මෙම සිසුන්ගේ කෑ ගැසිල්ල ඇසී ප්‍රදේශවාසීන් මෙම ස්ථානයට පැමිණ ඇළේ වැටී සිටි සිසුන් ගොඩගත් බව සඳහන්ය.  ගොඩගත් සිසුන් දඹුල්ල මූලික රෝහලට රැගෙන යන විට සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.

  කාංචන කුමාර ආරියදාස