mirihana-court-case

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට පසුගිය 31 වැනිදා රාත්‍රියේ කළ උද්ඝෝෂණයේදී සැකපිට අත්අඩංගුවට ගත් තිස් දෙදෙනකුගේ හඳුනාගැනීමේ  පෙරෙට්ටුව අද (05) සිදුකරන ලෙසද එතෙක් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නුගේගොඩ මහේස්ත්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඊයේ (04) නියෝග කළේය. මෙම පෙරෙට්ටුව අද දිනයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් නොකළහොත් එයට යළි දිනයක් ලබාදිය නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.  සැකකරුවන් හඳුනාගැනීමට හැකි බවට සාක්ෂි  ලබාදී ඇති බව කියන පොලිස් නිලධාරින් දහ  දෙනකුගෙන් හය දෙනකුම ඊයේ අධිකරණයට ඉදිරිපත්ව නොසිටි අතර ඔවුන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පොලිස් රෝහලට මාරුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළාය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වමින් සාමාන්‍යයෙන් සිදුවන්නේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ජාතික රෝහලට මාරු කිරීම බවද ජාතික රෝහලෙන් පොලිස් රෝහලට මාරු කිරිමක් අසා නැති බවද බොරු ගොතන විට ඒවා ගැනත් සැලකිලිමත් විය යුතු බවද පැවසීය.  ඔවුන් ජාතික රෝහලෙන් පොලිස් රෝහලට මාරු කර යවා ඇති බවද සිදුකර තිබෙන්නේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා නිදහස් වූ පසු

නැවත පොලිස් රෝහලට ඇතුළත් වීම බවද නැගිටින්නට නොහැකි අමාරුවක් තිබෙන කෙනෙක් වුවත් ගිලන් රථවලින් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථා ඉතිහාසයේ දැක ඇති බවද ඒ නිසා ඒ ආකාරයෙන් හෝ එම සාක්ෂිකරුවන් අද දින අධිකරණයට රැගෙන විත් හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්විය යුතු බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 01 වැනිදා පොදු දේපල පනත යටතේ විසිහත් දෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අය අතරින් විසිඑක් දෙනකු ඇප මත මුදාහැරිණි.

එදින ඉදිරිපත් කළ බී වාර්තවේ එක් එක් සැකකරුවන් විසින් සිදුකළ වරද පිළිබඳව ඇතුළත් කර නොතිබූ බවද අද එය වෙනස් කරමින් අලුත් බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද එහි එක් එක් සැකකරුවන් කළ වැරැදි දක්වා ඇති බවද ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. ඒ සාක්ෂිකරුවන් දහදෙනකු විසින් ලබාදුන් ප්‍රකාශ අනුව බවද එසේ වුවද ඔවුන් විසින් හඳුනාගත හැකි බව සඳහන් කර තිබෙන්නේ සැකකරුවන් දොළොස් දෙනකු පමණක් බවද ඔහු කීය. එම දොළොස් දෙනා හඳුනා ගැනීම වෙනුවෙන් තිස් දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත් කිරිම අසාධාරණ බවද ඉන්දතිස්ස මහතා සඳහන් කළේය. නව බී වාර්තාවේ සඳහන් වන පරිදි එම  සැකකරුවන් දොළොස් දෙනා විනාඩි විස්සක් වැනි  කාලයක් තුළ ස්ථාන කීපයකදී එනම් බස් රථයකට  හානි කරද්දී, ත්‍රිරෝද රථයකට හානි කරද්දි, යතුරු පැදියකට හානි කරද්දී ආදී ලෙස විවිධ දේපළවලට හානි කරද්දී අත්අඩංගුවට ගෙන ඇති බවද මෙලෙස එකම විමර්ශන නිලධාරියකු විසින් මෙතරම් සැකකරුවන් පිරිසක් විවිධ ස්ථානවලදී විනාඩි කීපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට නම් ඔහුට කතරගම දෙයියන්ට සේ අත් කීපයක් තිබිය යුතු බවද ඒ නිසා බැලූ බැල්මටම මෙම බී වාරිතාව අභව්‍ය සිදුවීම් ඇතුළත් කර හැදු වාර්තාවක් බව  පෙනීයන බවද ඔහු පැවසීය.



ආරක්ෂක කැමරා දර්ශන හා රුපවාහිනී මාධ්‍යවල දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය බව බී වාර්තතාවේ දැක්වෙන බවද එසේ හඳුනා ගැනීමක් නොමැතිව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන්නේ කෙසේද යන්න පුදුම සහගත කරුණක් බවද ඉන්දතිස්ස මහතා සඳහන් කළේය. එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පසුගිය පළමුවැනිදා අධිකරණයට ඉදිරිපත් කළ හයදෙනකු ඊයේ දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ පොදු දේපළවලට හානි කළ සැකකරුවන් යළි දුටුවහොත් හඳුනාගත හැකි බවට පොලිස් නිලධාරින් දෙදෙනකු ලබාදුන් සාක්ෂි මත බව පැවසීය. එහෙත් මේ වන විට එම  සාක්ෂිකරුවන් දෙදෙනා සඳහන් කර තිබෙන්නේ තමන්ට කිසිදු සැකකරුවකු හඳුනාගත නොහැකි බව යැයිද ඒ නිසා ඔවුන් අධිකරණය නොමග යවා සැකකරුවන් හය දෙනකු රිමාන්ඩ් බාරයට පත් කිරිමට කටයුතු කළ බවද ඒ අනුව එය නීති විරෝධී රඳවා තැබීමක් බවද ජයමාන්ත මහතා පැවසීය.

මෙම සැකකරුවන් රෝහලේ කොරිඩෝවේ කාටත් පෙනෙන්නට විවෘතව තැබූ බවද ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පවා මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින බවද ඒ නිසා එවැනි පිරිසක් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බවද සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කළාය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අකලංක උක්වත්ත මහතාද කරුණු දැක්වීය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දැක්වූ කරුණුවලට පිළිතුරු දෙමින් සඳහන් කළේ සැකකරුවන් හඳුනා ගත හැකි බවද පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් පසුගිය 01 වැනිදා සඳහන් කළ නමුත් දැන් ඔවුන්ට ඒ අය හඳුනාගැනීමට නොහැකි යැයි පවසා ඇති බවය.



එයින් සැකකරුවන් පිරිසක් රිමාන්ඩ් භාරයට පත් වූයේ නම් එය වරදක් බව පිළිගන්නා බවද එහෙත්  එසේ සිදුවූයේ ඔවුන් කෑමක් හරියට නැතිව ඉතා දුෂ්කර ක්‍රියාවක නිදිවර්ජිතව වෙහෙසෙමින් යෙදුණ නිසා බවද එය මානුෂීය ප්‍රශ්නයක් බවද ගිරිහාගම මහත්මිය සඳහන් කළාය. යුක්තියේ සාධාරණත්වය සැකකරුවන්ට මෙන්ම පැමිණිල්ලටද ඉට විය යුතු බවද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් නොපැවැත්වුවහොත් පැමිණිල්ලට සැකකරුවන් හඳුනාගැනීමට තිබෙන අවස්ථාව එයින්  අවසන් වන බවද ඇය තවදුරටත් සඳහන් කළාය.  ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය නිකුත් කළේය.

 මුදිතා දයානන්ද