face-book-fake-love

මුහුණුපොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන එම සිසුවිය අවස්ථා කිහිපයකදී දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට එක් කළ බව කියන තරුණයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. මොහු ඇගලුම් කම්හලක සේවය කරන  තැනැත්තෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසල් සිසුවිය දූෂණයට ලක්වී වසර 03ක පමණ කාලයකට පසුව බව පොලිසිය පවසයි. දූෂණයට ලක්වූ බව කියන පාසල් සිසුවිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයන් 09 විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හදාරණ සිසුවියකි.

මෙම සිසුවිය අවුරුදු 14ක වයසේ පසුවන කාලයේ මුහුණු පොතෙන් තරුණයකු හඳුනාගෙන ඔහුත් සමග ප්‍රේල්ම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම සිසුවියද කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන කාලයේ වරින්වර සැකකාර තරුණයා සිසුවිය මුණගැසීමට පැමිණි අවස්ථා කිහිපයකදී ඇය දූෂණය කර නිරුවත් ඡායාරූප ද ඔහුගේ ජංගම දුරකතනයෙන්  ලබාගෙන ඇති බව පොලිසිය කීය.

පසුකාලයක මෙම තරුණයා සිසුවිය සමග කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාව නතර කර මෑතකදී වෙනත් තරුණියක  හා විවාහ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.  මෙම සැකකරු පාසල් සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන වකවානුවේ ලබාගත් නිරුවත් ඡායාරූප කිහිපයක් මෑතකදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇතැයි පොලිසිය කියයි.

සිය ඥාති සොහොයුරියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බව දුටු තරුණියක් මේ බව සිසුවියගේ මවට දැනුම් දී එම ඡායාරූප ද පෙන්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.  පාසල් සිසුවියන්ගේ මව මේ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් පැමිණිලි කරනු  ලැබුවාය.පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවියගෙන් ප්‍රශ්න කර සිද්ධියට අදාළ තොරතුරු ලබාගැනීමේදී සැකකරු ගැන අනාවරණය වී ඇත.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-