විවිධ උපක්‍රම හරහා තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට උත්සහ කරන්නේ නම් ආණ්ඩුවේ බහුතරය නැති
කිරීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.



ඒ අනුව හෙට (05) දිනයේ දී 50දෙනෙකුට අධික පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට
නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.



අද (04) මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර
සිටියේ, ජනතාව ආණ්ඩුවට ගෙදර යන ලෙස පැවසීම ඉතා සාධාරණ කාරණයක් බවය.

එම පීඩනය තේරුම් ගෙන ආණ්ඩුව ඉවත් විය යුතු බවත් පැවසු ඒ මහතා මේ මොහොතේ දේශපාලනය නොව
ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ 50කට අධික පිරිසක් ස්වාධීන වෙලා, අපි
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා,


ආණ්ඩුව අයින්වෙලා විපක්ෂයේ ඕන කෙනෙක් ට ආරාධනා කරලා ඒ ආණ්ඩුව කරගෙන යන්න සහාය දෙන්න
කියලා. ඉතා පැහැදිලිව කියන්නේ අද දවස තුළ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, හෙට
පාර්ලිමේන්තුවේ අපි 50කට අධික සියලු පක්ෂ එකතු වෙලා පොහොට්ටුවේ විශේෂයෙන් අපි ස්වාධීන වෙනවා.
එතකොට ආණ්ඩුවට 113 නැතුව ගියාම ආණ්ඩුව කොහොමත් විසුරුවා හරින්න වෙනවා. එතකොට ඕන කෙනෙක්ට
ජනාධිපතිතුමාට පුළුවන් ආරාධනා කරන්න ආණ්ඩුවක් අරගෙන මේක කරගෙන යන්න කියලා.“