power-cutting-conspiracy-unfolds-in-the-near-future---Johnston

වත්මන් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලද පුද්ගලයෙකු බවත්, සාමගාමී උඝෝෂණවලට කිසිම විටක ප්‍රශ්නයක් ඇති නොකරපු නායකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහානේ පසුගියදා ඇති කළ විරෝධය, සාමකාමී උද්ඝෝෂණයක් නොව ප්‍රචණ්ඩත්වය රජ කළ විරෝධතාවක් බවද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.






ඊයේ (03)දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. "ප්‍රචණ්ඩත්වය තිබුණු නිසා තමයි රජයේ දේපොළ, පෞද්ගලික දේපොළ විනාශ කරන්නේ. මේ ප්‍රචණ්ඩත්වය නිසා කැබිනට් ඇමතිවරුන් විදිහය අපි ඉල්ලීමක් කළා ජනාධිපතිතුමාගෙන්, මේවට සම්බන්ධ සියලුම අයට නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියලා. සාමකාමී උඝෝෂණවලට අපි විරුද්ධ නැහැ. හැබැයි ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතැබිය යුතුයි. රටේ මහජනතාව ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම මහජනතාවගේ දේපොළ ආරක්ෂා කළ යුතුයි. ඒක රජයේ යුතුකමක්.


ජනාධිපතිතුමාගේ අපි කරපු ඉල්ලීම් ඒකයි. එතුමා හැම වෙලාවෙම කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. එදා ගාලු මුවදොරට ආපු විරෝධතාකරුවන්ට එතුමාගේ කාර්යාලයට යන්න ඉඩ දුන්නා.

දෙවැනි පාරට එතුමාගේ ගෙදර ඇවිල්ලා කිව්වේ සාමකාමී විදියට අපි කැමති නෑ ප්‍රචණ්ඩත්වයට තමයි අපි කැමතියි කියන එක තමයි දුන්න පණිවිඩය. මෙම උද්ඝෝෂණය සමහර නාලිකාවල සජීවීව විකාශනය කළා.

විවෘතව ජනාධිපතිතුමා මරන්න කියලා ඉල්ලීම් කරනවා. නාලිකාවල තිබෙන දර්ශනවල බැලුවොත් පේනවා ජනාධිපතිතුමාව මරන්න කියලා කෑගහන අයව. වෙනදා වගේ ඒ අයව රවුම් කරලා පෙන්වන්න. අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා ඇත්ත පෙන්වන්න කියලා. අපි ප්‍රචණ්ඩත්වයට හිස නවන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. හැබැයි අපිත් සාමකාමී උද්ඝෝෂණවලට ජනතාව ගෙනැල්ලා තියෙනවා. අපිත් ගෝල්ඩ් එකට ආවා. අපිත් රජයට විරුද්ධව විරෝධතා කෙරුවා. අපි ඒක ගලක්වත් ගැහැව්වාද දැන් තේරෙනවානේ මේවා පිටුපස්සේ ඉන්නේ කවුද කියලා.” යනුවෙනි.