මෙරට මුදල් මුද්‍රණය කරන සමාගම වන De La Rue සමාගම ලොව පුරා මහ බැංකුවලින් අඩකට තමන් මුදල් නෝට්ටු සපයන බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටා සහ එංගලන්තය යන රටවල පිහිටි තම මුද්‍රණ ආයතනවල මුදල් මුද්‍රණ කටයුතු සිදු කෙරෙන බව එම සමාගම ඊයේ (අප්‍රේල් 15) නිකුත් කර ඇති එම ට්විටර් සටහනෙහි සඳහන් කර ඇත.

එමගින් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ කෙන්යාවේ හවුල් ව්‍යාපාර සමගින් මෙම මුද්‍රණ කටයුතු සිදු කරන බව ත් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳව තොරතුරු ලබා නොදෙන බවත්ය.

De La Rue සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, උගන්ඩා රජය මෙරට තුළ මුද්‍රණ කටයුතු සිදු කරන ගෝලීය මුද්‍රණ සමාගමකින් උගන්ඩාවේ මුදල් නෝට්ටු ඇනවුම් කරන ලද බවට ශ්‍රීලංකන් ගුවන් සේවය පෙරේදා (අප්‍රේල් 14) ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබූ පසුබිමකය.



ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා තුනක් මගින් 2021 වසරේ පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ටොන් 102ක් බරැති මුද්‍රිත ද්‍රව්‍ය රැගෙන ගිය බව ත් එලෙස රැගෙන ගියේ උගන්ඩා මුදල් නෝට්ටු බව ත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රිලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර තිබිණි. De La Rue සමාගම නිකුත් කර ඇති ට්විටර් නිවේදනය මෙසේය.