kekirawa-incident

තම මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන විවාහයේ සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට නිවසට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව පවසමින් වයස අවුරුදු 14ක පමණ පාසල් දැරියක් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන්ට ප්‍රකාශයක්  දෙමින් පවසා ඇත.

ඇය පරිවාස නිලධාරීන් හමුවේ තවදුරටත් පවසා ඇත්තේ තම මව මෙන්ම පියාද වෙනත් විවාහයන් සිදු කරගෙන වෙන්ව වෙසෙන බවයි. තමා මව සමඟ විසූ බවද සඳහන් කර ඇති දැරිය මව මත්පැන් විකුණන බවත් මවගෙන් මත්පැන් මිලදී ගැනීමට පිටස්තර විවිධ පුද්ගලයින් නිවසට පැමිණෙන බවත් කියා තිබේ. එම තත්වය මත තමාට තවදුරටත් සිය මව සමග ජීවත් විය නොහැකි බවද ඇය සිය ප්‍රකාශය මගින් පවසා ඇත.

එමෙන්ම මවගේ දෙවන සැමියා  නිවසේ නැති අවස්ථාවලද මව හමුවීමට විවිධ පුද්ගලයන් රාත්‍රි කාලයේ සහ දිවා කාලයේ නිවසට පැමිණෙන බවද පවසා ඇති දැරිය මවගේ දෙවන සැමියාද තමාගේ ශරීරය අතපත ගාමින් විවිධ බලපෑම් සිදුකරන බවද තවදුරටත් ප්‍රකාශ කර තිබේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුරතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කරුණා කීර්තිරත්න මහතා විසින් විමර්ශනයක් අරඹා ඇත.

තමා මුහුණ දී සිටින මෙම තත්වය දැරිය මුලින්ම පවසා ඇත්තේ ඉපලෝගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ටය. පසුව දැරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන්ට යොමුකර ඇත්තේ ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි හේත්රත් මහතාගේ උපදෙස් මතය. කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා මෙම දැරිය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමට නියමිතය.