ceb-chairman

දිනකට විදුලිය කපන පැය ගණන හෙටින් (2) පසුව පැය 4ක් පමණ දක්වා අඩු කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ප්‍රනාන්දු මහතා ඊයේ (13) පැවසීය.විදුලිබල මණ්ඩලයට ඩීසල් තොගයක් හෙට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති බවත් එය ලැබුණු පසුව

ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරවලින් විදුලිය නිපදවිය හැකි නිසා දෙනිකව විදුලිය කප්පාදු කරන පැය ගණන පැය 4 කට වඩා වුවත් අඩු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.අඛණ්ඩව ඩීසල් හා දැවිතෙල් ලැබෙන්නේ නම් විදුලිය කැපීම සම්පූර්ණයෙන් නවතා  දැමිය හැකි බව ද සභාපතිවරයා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙගාවොට් 3,300ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාර මෙරට ඇතත් මේ වන විට රට තුළ පවතින මෙගාවොට් 2,850 ක විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි කී සභාපතිවරයා මෙය විදුලිබලය  සම්බන්ධ ගැටලුවක් නොව බලශක්ති අර්බුදයක් බවද සඳහන් කළේය. ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1,398ක්, තාප විදුලි බලාගාරවලින් මෙගාවොට් 630ක්, ගල් අගුරු බලාගාරවලින් මෙගාවොට් 900ක්, පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් සහ වහලමත සූර්ය පැනලවලින් මෙගාවොට් 500 කට වැඩි ප්‍රමාණයක් ලෙස මෙරට විදුලිබල ධාරිතාවයක් ඇතත් මේ වන විට ජලාශ හිදීයාම හේතුවෙන් ජල විදුලි බලාගාර ධාරිතාවය සියයට 25ක් (මෙගාවොට් 300ක්) දක්වා අඩු වී ඇතැයි ද ප්‍රනාන්දු මහතා කීවේය. ලබන නොවැම්බර් දක්වා ගල්අඟුරු ඇති නිසා ගල් අඟුරු බලාගාරවල විදුලි නිෂ්පාදනයට ගැටලුවක් මතුව ඇතත්,

මෙගාවොට් 1,100ක පමණ ධාරිතාවයකින් යුත් ඩීසල් හා දැවිතෙල් බලාගාරවලට නිසි කලට ඉන්ධන නොලැබීමෙන් ඒවායේ විදුලි නිෂ්පාදනයට ද ගැටලු මතුව ඇති බව සභාපතිවරයා පැවසීය.

2014න් පසු එක් බලාගාරයක් හෝ ඉදිනොවීම නිසා විදුලි ධාරිතාවයේ පවතින බැවින් මෙගාවොට් 200ක් ලබාගැනීමට පෞද්ගලික බලාගාර තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර හා මෙගාවොට් 150ක ගෑස් ටර්බයින තුනක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම 2023 අප්‍රේල් මාසය වන විට  මෙගාවොට් 200ක ධාරිතාවයකින් යුත් නව බලාගාරයක් විදුලි පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා කීවේය. මෙහිදී අදහස් දැක්වූ විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හෙට (2) ලැබෙන ඩීසල් තොගය ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ලැබෙන බවයි.

 -ඩයනා උදයංගනී-