jubili-kanuwa-pangiriwatte-incident-update

පෙරේදා මිරිහාන ජනපති පුද්ගලික නිවස ආසන්න පැඟිරිවත්ත පාර පෙදෙසේදී සිදුවූ වාහන ගිනිතැබීම් හා පොදු දේපළ අලාභය සම්බන්ධ ප්‍රචණ්ඩකාරීත්වය හා එම සිදුවීම් සිදුවන්නට ප්‍රථම ජනපතිට තනතුරින් යන්නැයි බල කරමින් ජුබිලි කණුවේ සිට පැඟිරිවත්ත පෙදෙස දෙසට ආ සාමකාමී පෙළපාලි ගමන කණ්ඩායම් දෙකක වැඩ විය හැකි බවට මේ වනවිට අදහස් පළවෙමින් පවතී.


මේ ගැන මේ වනවිට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, අනුර කුමාර දිසානායක ජවිපෙ නායකවරයා මෙන්ම මනුෂ නානායක්කාර සජබ මන්ත්‍රීවරයා තර්කානුකූල අදහස් ඉදිරිපත් කර තිබේ.
මොවුන් මතුකරන සැකය නම් ජනතාව සාමකාමී විරෝධයක් පවත්වායාම අත්අඩංගුවට ගතහැකි වරදක් නොවන බැවින් ‘ජනතාව පොදු දේපළ වලට හානි කළා‘ යන චෝදනාව නැගිය හැකි පරිදි විරෝධතාව ප්‍රචණ්ඩ කිරීමට බාහිරින් මැර කණ්ඩායමක් ආණ්ඩුව විසින්ම යොදවා ජනතාව වරදකට හසුකර තිබෙන බවයි.

ජනාධිපති නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී පොදු දේපළවලට හානි සිදු කිරීම ආණ්ඩුව විසින් ඇතුළත් කරන ලද කණ්ඩායමක ඉතා සැලසුම් සහගත ක‍්‍රියාවක් බවට සැක මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 වැනිදා) එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය
අතදරු අම්මලා, වැඩිහිටි අම්මා, තාත්තා වගේම, දරුවා, බිරිඳ, සැමියා වශයෙන් පවුල්පිටින් උද්ඝෝෂණවලට පැමිණ එවැනි ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් සිදුකළේ යැයි විශ්වාස කිරීමට නොහැකි යැයි ද හෙතෙම කීවේය.එබැවින් ‘ජන පීඩක ආණ්ඩුව’ පලවා හැරීමේ උද්ඝෝෂණවල දී ආණ්ඩුව විසින්ම සැලසුම් කරන ලද ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් වළක්වා ගැනීමත් පුරවැසියන්ගේ වගකීමක් බවත් දිසානායක මහතා කියා සිටියේය.



මෙවැනි උද්ඝෝෂණ හැකිතාක් සාමකාමීව, හැකිතාක් සංවිධානාත්මකව, හැකිතාක් මෙහෙයවීමකට යටත්ව සිදු කළ යුතුව ඇතැයි කී හෙතෙම ඒ පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බවත් කීවේය.මෙම උද්ඝෝෂණයේ දී සිවිල් පුරවැසියන් විශාල පිරිසක් වෙත ආරක්ෂක අංශ පහරදී ඇතැයි සඳහන් කළ හෙතෙම සාමාන්‍ය ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයකට මෙවැනි ප‍්‍රචණ්ඩකාරී පහරදීමකට අණ දුන්නේ කවුද යන්න ආරක්ෂක ඇමැති ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස් ඇමැති සරත් වීරසේකර වහාම රටට හෙළි කළ යුතු යැයි ද කීවේය.


 එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (1) පැවසුවේ

‘ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා.නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා.එය අවාසනාවන්ත සිද්ධියක්.‘ යනුවෙනි.

‘මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා.මෙි ජාතිවාදී සිද්ධියක් නොවේ.එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ.එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.‘ ඔහු පැවසීය.
‘මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා.අප එක කාරණයක් මතක තබා ගත යුතුයි.සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු නොවිය යුතුයි.එමෙන්ම ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි.ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා.‘ ඔහු පැවසීය.



මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ මෙසේය

‘මේ අය මෙතන්ට ආවේ දරුවන් කරේ තියාගෙන. සාමකාමී විදිහට ඉටිපන්දම් පත්තු කරගෙන දින කිහිපයක්ම මෙම විරෝධතාව ඔවුන් පැවැත්වුවා.ඔවුන් දඩු මුගුරු පොලු අරන් ආවෙ නැහැ. ස්වාධීනව එකතුවුණ මේ අය යම් තැනකට ඇවිත් එදින හැසිරුණා. සමාජ මාධ්‍ය වල දුටුවා හෙල්මට් අරන් අමුතු කන්ඩායමක්.පොලු මුගුරු අරන් තව කණ්ඩායමක් එනවා. බස් රථ වලින් පිරිස් ගේනවා.ඒ වගේ අය මෙතැන හිටියෙ නැහැ. අපි සමාජ මාධ්‍ය ඇසුරින් දුටුවා බස් රථයට ගිනි තියන වෙලාවෙ දර්ශන. මේ එක පුද්ගලයෙක් මේක කරන්නේ. ඔහු එය සිදු කරන වෙලාවෙ පොලිසිය හමුදාව විශාල පිරිසක් බලා ඉන්නවා. ඔවුන් එම පුද්ගලයා ඉවත් කරන්න හෝ බස් රථය ගිනි ගැනීම වළකන්න කිසිවක් කරන්නෙ නැහැ. මෙතැනදි සැකයක් මතුවෙනවා. මේ පුද්ගලයා කවුරුහරි ගෙනල්ලා බස් එකකින් බස්සවපු කෙනෙක්ද විශ්‍රාම ගිය ආරක්ෂක සේවයට සම්බන්ධ අයෙක්ද බිත්තර බලකායක කෙනෙක්ද යන සැකය මතුවෙනවා.
ජනතාවගේ විරෝධතාව කඩාකප්පල් කරන්න තමා මෙවැනි දේ කරන්නෙ.
සිද්ධිය සිදුවෙලා පැය දෙකක් ගිහින් ජනපති මාධ්‍ය අංශය කියනවා මෙම පිරිස ‘අන්තවාදීන්‘ ලෙස. මෙතරම් ඉක්මණට ඔවුන් මෙම ලේබලය අලවන්නෙ කොහොමද? ‘අරාබි වසන්තයක‘ විස්තරයකුත් කියනවා. මේ සියල්ල සැක සහිතයි. කැලණිය සිදුවීමත් වාර්තාකරන්නේ ‘සිංහල කඩයක්‘ ගිනිතිබ්බා කියලා. මේ සියල්ල එකට යන්නෙ.‘