siddhalepa-victor-hettogoda-passed-away

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යවසායකයෙකු වූ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති  වික්ටර් හෙට්ටිගොඩ වෙදමහතා අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 84 හැවිරිදි වියෙහි පසුවිය.
හෙට්ටිගොඩ මහතා දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර අද (02)
පෙරවරුවේ දී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අභවප්‍රාප්ත විය.


ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසවන්තම අත් බෙහෙතක් ලෙස ප්‍රකට ‘සිද්ධාලේප බාම්‘ නිර්මාණකරුවා වන්නේ ඔහුය.
‘සෑම ගෙදරක ම සිටිය යුතු වෙද මහත්තයා‘ ලෙස හඳුන්වන සිද්ධාලේප බාම් වර්ගයට අමතරව සිද්ධාලේප ලේබලය යටතේ ඖෂධ වර්ග 90ක් පමණ වෙළෙඳපොළ තුළ අලෙවි වෙයි. ඔහුට අයත් ආයුර්වේද රෝහල් හා හෝටලද තිබේ.
සේවකයින් 1500 ක් පමණ ඔහු යටතේ සේවය කරමින් සිටි අතර රටවල් 20 කට වැඩිප්‍රමාණයක ඔහුගේ නිස්පාදන අලෙවි කෙරෙමින් පවතී.

වික්ටර් හෙට්ටිගොඩ උපන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වල්පොලයි. ඔහුගේ පියා මෙන්ම සීයා ආයුර්වේදය හා ජ්‍යොතිශාස්ත්‍රය මැනවින් දත් වෙද මහත්වරු වූ බව කියැවිණ. වික්ටර් හෙට්ටිගොඩගේ පවුලේ දරුවන් නව දෙනෙක් විය.
මාතර රාහුලයෙන් ඉගෙන ගත් වික්ටර් තලවකැලේ හේමචන්ද්‍ර සමාගමේත් ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලේත් එම්. ඩී. ගුණසේන සමාගමේත් සුළු රැකියාවන් සිදු කළේය.
උපාධිධාරී ගුරුවරියක සමග විවාහවී කුලී ගෙදරක වාසය කරන කාලයේ තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් නැතිව අසරණ වූයේය. විවිධ වැදගත් අංශ වල තම දරුවන් රැකියාවට ගියත් වික්ටර් පමණක් අසරණව සිටීම ගැන අනුකම්පා කළ වික්ටර්ගේ පියා සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව ඔහුට ලබාදී මෙයින් වැඩක් ගන්නැයි දන්වා සිටි බව පැවසේ. ඉන්දියාවේ යෝගීවරුන් ලබාදුන් ඔසුවක් ලෙස ඔහුට එය ලබාදුන් බවද පැවසිණි.
කුලී ගෙදර අඩි 10 x 10 කාමර කෑල්ලක බෙහෙත් දඩු, කොළ, මුල් ජාති කපල කොටල, රත් කරල පළමු සිද්ධාලේප ස්වල්පය වික්ටර් හෙට්ටිගොඩ තමගේ අත්වලින්ම හදා ගත්තේය.

තමාගෙ අතින්ම ලේබල් අලවගත්තු සිද්ධාලේප කුප්පි ටික අරගෙන හෙට්ටිගොඩ වෙළදාමට ගියේ පෙට්ටිය කර ගහගෙනය.
ඔහු වෙහෙසවී ඒවා විකුණාගැනීමට විශාල සටනක් කළේය. අවසානයේ ඔහුගේ උත්සාහය සාර්ථක විය.

සිද්ධාලේප වෙද මහතාගේ ව්‍යාපාර සාර්ථකත්වය පසුපස ඔහු ‘කට්ට කෑමෙන්‘ හා වැඩ කළ තැන්වල ‘අත්දැකීම්‘ හේතුවූ බව ඔහු පවසා තිබේ. නිෂ්පාදනයේ වට්ටෝරුව නිකුත් කිරීමේ සිට අවසානයේ අලෙවි කරන වෙළෙඳ දැන්වීම නිර්මාණය පවා ඔහු සිය අතින්ම සිදු කරන්නේය.ඔහු වට්ටෝරුව බිරියගෙන් පවා සඟවාගත් බව ප්‍රකාශ කර තිබේ.තමන් කරන කටයුතු ගැන තමන්ම වගකීම හා ආත්ම විශ්වාසයෙන් වැඩ කිරීම ප්‍රතිඵලදායකවූ බව ඔහු පවසා තිබේ.
වික්ටර් හෙට්ටිගොඩ මහතා ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් විශාල නමක් දිනූ පසු ප්‍රේමදාස රජය කාලයේ ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළේය.  ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයෙක් විය.



 සංචාරක අමාත්‍යංශය,දේශීය වෛද්‍ය අමාත්‍යංශය, දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සතොස හා විද්‍යාත්මක පර්යේෂණ හා කාර්මික ආයතන වල අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.
ඔහු ඒ සේවාවන් වෙනුවෙන් වේතන ලබා ගත්තේ නැත.
 වික්ටර් හෙට්ටිගොඩ මහතා දූවරුන් දෙන්නෙකුගේ හා පුතෙකුගේ පියෙකි. දූවරුන් එංගලන්තයේත් පුතා ඇමරිකාවේත් අධ්‍යාපනය ලබා එහි පදිංචිව සිටී.
දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.