mirihana-arrest-update

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පෙරේදා (31)රාත්‍රි පැවති මහජන විරෝධතාවයට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.



එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අඟහරුවාදා රැස් වන බවයි

සිය කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, එහිදී රජය හෝ වෙනත් පාර්ශවයකින් මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම්, ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයින්ගේ සියලු තොරතුරු මේ වනවිට මානව හිමිකම් කොමිසම ලබා ගෙන ඇති බවයි.



ඒ සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විමර්ශනයක් ආරම්භ කළ හැකි බව ඒම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.