ipl-best-mumbai-indians

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට මෙවර ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් වටිනාම කණ්ඩායම ශ්‍රී ලංකා හිටපුටෙස්ට් නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කර ඇත. ලොව ජනප්‍රිය පුද්ගලයන්ගේ මෙන්ම ලොව ප්‍රමුඛ සමාගම්හි මූල්‍ය වත්කම් හෙළිදරව් කරන ප්‍රධාන පෙළේ සඟරාවක් වන ෆෝබිස් අනාවරණයට අනුව, මුම්බායිහි මූල්‍ය වටිනාකම පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් නැතහොත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 45,061කට ඉහළ අගයක් ගනියි.

කෙසේ නමුත් මෙම වටිනාම කණ්ඩායම මෙවර තරගාවලිය තුළ දැවැත්ත කඩා වැටීමකට ලක්ව සිටියි. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරාජ රැසක් අත්කරගෙන සිටින මුබායි, මේ දක්වා ක්‍රීඩා කළ සියලුම තරග (තරග 08) පරාජය වී ඇත. එය අයි.පී.එල්. ඉතිහාසයේ වෙනත් කිසිදු කණ්ඩායමක් පරාජය වී නොමැති ආකාරයේ කනගාටුදායක තත්ත්වයකි. ෆෝබිස් අනාවරණයට අනුව

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් දෙවැනි වටිනාම කණ්ඩායම වේ. ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.15  (රු.කෝ. 39,861)කි. ශ්‍රී ලංකාවේ මහේෂ් තීක්‍ෂණ හා මතීෂ පතිරණ චෙන්නායි වෙනුවෙන් තෝරාගෙන සිටියි. මෙම වර්ගීකරණයේ තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් බිලියන 1.1 (රු.කෝ. 38,128)ක් ඇති කොල්කටා නයිට් රයිඩස්ය. චාමික කරුණාරත්න කොල්කටා වෙනුවෙන් එක්ව සිටියත්, මේ දක්වා ඔහුට ඒකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය.

මෙවර තරගාවලියට කෝඩුකාරයන් ලෙස එක් වූ දුෂ්මන්ත චමීර ක්‍රීඩාකරන ලක්නව් සුපර්ජන්ටිස් මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ රැඳී සිටියි. ඔවුන්ට ඇ.ඩො. බිලියන 1.075ක් නැතහොත් රුපියල් කෝටි 37,262කට අධික වටිනාකමක් හිමිව ඇති බව ෆෝබ්ස් අනාවරණය කර ඇත. මීට අමතරව මෙම ලැයිස්තුවේ 05වැනි ස්ථානය හිමිකරගෙන සිටින දිල්ලි කැපීටල්ස්ට ඇ.ඩො.  බිලියන 1.035ක (රු.කෝ. 35875) වටිනාමක් හිමිව ඇත. ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ක්‍රීඩාකරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඇ.ඩො. බිලියන 1.025ක (රු.කෝ. 35,529) වටිනාකමක් හිමිව 06වැනි ස්ථානයේ රැදී සිටියි.



මෙහි 07වැනි ස්ථානය කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමිව ඇති අතර, ඔවුනට ඇ.ඩො. බිලියන 01ක් නැතහොත් රු.කෝ. 34,662 ඉක්ම වූ වටිනාකමක් හිමිව ඇත. සරයිසස් හයිද්‍රාබාද් (08/ඇ.ඩො.මි. 970/ ශ්‍රී. රු.කෝ. 33,62), භානුක රාජපක්‍ෂ ක්‍රීඩාකරන පන්ජාබ් කිංග්ස් (09/ඇ.ඩො.මි. 925/ ශ්‍රී.රු.කෝ. 32,062) හා ගුජරාට් ටයිටන්ස් (10/ඇ.ඩො,මි. 850/ ශ්‍රී.රු,කෝ. 29,463) කණ්ඩායම්වලට මෙහි සෙසු ස්ථානයන් හිමිව ඇත.ෆෝබ්ස් අනාවරණයට අනුව 2008 වසරේ අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමෙන් වසරකින් පසුව, ලීගයට ක්‍රීඩා කළ කණ්ඩායම් අටෙහිම තක්සේරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් (රු, කෝ.2,322) වූ බවයි.

මේ වන විට වසර 14ක අතීතයක් ඇති අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වීමත් සමග, එම සියලුම කණ්ඩායම්හි සාමාන්‍ය අගයද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04 (රු. කෝ. 36,049ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් අනාවරණය කරයි. ඒ අනුව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ,24%ක වාර්ෂික වර්ධනයක් අත්කර ගන්නා ඉන්දීය ප්‍රිමියර් ලීගය, ආයෝජකයන්ට රන් ආකරයක් බවයි.

(විශ්ව මුදියන්සේ)