haton-man-death-fuel-que

භූමිතෙල් මිල දී ගැනීම සඳහා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පෝලිමේ රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයකු ඊයේ (27 වැනිදා) අලුයම ඔහු පදිංචි නිවසේදී මියගොස් ඇතැයි හැටන් පොලිසිය කියයි.  මෙසේ ජීවිතයට පත් වී ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ දේවනායගම් ක්‍රිෂ්ණසාමි (55) නමැති දෙදරු පියකු බව පොලිසිය කියයි.



මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති වීදියේ කූලී පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇඳුම් ව්‍යාපාරයක් සිදුකරගෙන යන බවත් පෙරේදා (26 වැනිදා) රාත්‍රි 7 ට පමණ නිවෙසට අවශ්‍ය භූමිතෙල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය සැමියා ඊයේ 27 වැනිදා අලුයම 12.30 ට පමණ නිවෙසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව පැවසූ බවත්, පසුව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්ථාවේ ඔහුට වමනය ගොස්, ඉන් අනතුරුව ඔහු එකවරම මියගිය බවත් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිය කියා සිටි බව පොලිසිය කීය.



තම සැමියාට මීට ප්‍රථම කිසිදු රෝගී තත්වයක් නොතිබුණු බවත්, භූමිතෙල් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ රැඳී සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිය සඳහන් කළ බව පොලිසිය කියයි. මියගිය දෙදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය. සති ගණනාවකට පසු හැටන් ඉන්ධන පිරවුම්පලට 26 වැනිදා පස්වරු 4 ට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලද භූමිත්තෙල් ලීටර් 6600 ක් මිල දී ගැනීමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම් වල රැඳී සිටි අතර, එම පාරිභෝගිකයන්ට රුපියල් 500 ක භූමිතෙල් නිකුත් කිරීම ඊයේ  (27 වැනිදා) අලුයම 3 පමණ වන තෙක්සිදු කළ බව ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් පැවැසීය.

 රංජිත් රාජපක්ෂ