gotabaya-mahinda

මන්ත්‍රීවරුන් 117 දෙනෙකු මේ වන විට මහින්ද රාජපක්ෂ අගමැති ට සහය පළ කරන බව ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවසීය. ඒ අනුව තවදුරටත් අගමැති ලෙස ඔහු කටයුතු කරන්නට හැකි බව ද ඉඟි කළේය.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී මේ බව කියා තිබුනි. එහිදී මන්ත්‍රීවරුන් 117 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ දෙදෙනාම ඉදිරියට යා යුතු බවයි.



මන්ත්‍රීවරුන් 109 දෙනෙකු භෞතිකව පැමිණ සිටි අතර වෙනත් හේතු නිසා මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට පැමිණීමට නොහැකි විය. ඔවුන් සියලු දෙනාම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් බව කියා තිබූ අතර වත්මන් අර්බුදය සහ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කළහ.

පවතින අභියෝග ජයගැනීම සඳහා පැහැදිලි ජාතික න්‍යාය පත්‍රයක් සහිත නව සභාග රජයක් පිහිටුවීමට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය කටයුතු කළ යුතු බව පවසමින් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකළ ඩලස් අලහප්පෙරුම මහතාද ඊයේ සවස එම රැස්වීමට පැමිණ සිටියේය.



එම රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම අයෙකුට ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස තමන් ඉල්ලා නොමැති බවත් මහින්දට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ සිටිය හැකි බවත් ජනපති කියා සිටියේය.