gampola-incident

උදැසන මිදුල අතුගාමින් සිටි කාන්තාවකගේ රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් මාලයක් කඩාගෙන පැන දිවූ සැකකරුවකු  මෙම 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගම්පොළ, කිරින්ද, ගල්ගෙඩියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගෙල බැඳි රන් මාලය මොහු විසින් ඉකුත්දා කඩාගෙන තිබුණි.  මෙම කාන්තාව උදැසන මිදුල අතුගාමින් සිටියදී පුද්ගලයකු පිළිබඳව තොරතුරක් අසන මුවාවෙන් ඇය ළගට විත් ගෙල බැඳ තිබූ පවුම් තුනහමාරක් වටිනා රන් මාලය මෙසේ කඩාගෙන තිබුණි.



ඇයගේ කෑගැසීමට අවට සිටි පිරිස් මෙම සැකකරු අල්ලා මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටගසා පසුව ඒ පිළිබඳව ගම්පොළ  පොලිසිය වෙත දන්වා තිබුණි. පොලිසිය පැමිණ ඔහු ළග තිබූ රන් මාලය සොයාගෙන තිබූ අතර පසුව මෙසේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බහි වී ඇති බවත්  දිනකට රුපියල් පන්දහසක මත්පෙති හා කුඩු ග්‍රෑම් එකක් මොහුට අවශ්‍ය බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.