malimbada-incident

තම මාමණ්ඩියගේ හිසට පොල්ලකින් පහර දී කිරල කැලේ ඇළකට තල්ලුකර ඝාතනය කර ඔහුගේ අවුරුදු 16ත් 22ත්  වයසැති දියණියන් දෙදෙනාට අතවර කළ බව කියන බෑනා කෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මාලිම්බඩ පොලිසිය පවසයි.

එම ප්‍රධාන සැකකරු සමඟ මෙම අපරාධයට සම්බන්ධ වූ ඔහුගේ මිතුරකු පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ පාලටුව මාල්බඩ සෙන්ට්‍රල් පාර්ක් හි පදිංචිව සිටි කන්නක්කගේ ප්‍රසන්න ලසන්ත (43) නමැති තිදරු පියාගේ සිරුර මාතර කිරල කැලේ ඇළක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඔහු සමග සැකකාර බෑනා හා අත්අඩංගුවේ පසුවන ඔහුගේ මිතුරා එකට  මත්පැන් පානය කර ඇති බවත් එහිදී මාමණ්ඩිය ඇද වැටී තුවාල වීම නිසා ඔවුන් ඔහු රෝහල් ගත කරන බව පවසා මාතර කිරල කැලේ රැගෙනවිත් පොල්ලකින් පහර දී ඇළට තල්ලු කර ඝාතනය කර ඇති බවත් පොලිසිය කියයි. සැකකාර බෑනා එම පුද්ගලයාගේ දෙවැනි දියණිය විවාහ කරගෙන සිටින අතර ඇය සිය මව හා දරුවන් සමඟ මහරගම ඥාති නිවසකට ගොස් සිටිය දී මෙම සිද්ධිය වී ඇත.

ඒ අනුව මාමණ්ඩිය නිවසින් රැගෙන විත් ටික වේලාවකට පසුව තම වෑන් රථයෙන් ගොස් ඇති සැකකාර බෑනා හා මිතුරා පියා බැලීමට යමුයි පවසා නෑනලා දෙදෙනා වාහනයට නංවාගෙන මාතර හිත්තැටියේ  ඇනෙක්සියකට රැගෙනවිත් අතවර කර ඇති බව කියති.

එහිදී තරුණියන් දෙදෙනා බෙදා ගැනීමට යාමේ දී සැකකරුවන් දෙදෙනා අතරද ආරවුලක් ඇතිවී බෑනා පිටතට ගොස් මිතුරන් පිරිසක් ද එම ස්ථානයට කැඳවා ගෙනවිත් තිබෙන බව පොලිසිය කියයි. ඒ අතරවාරයේ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119ට ලැබුණු තොරතුරකට අනුව මාතර පොලිසිය ගොස් තරුණියන් දෙදෙනා සොයාගෙන සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වනවිටත් සැකකාර බෑනා හිත්තැටියේ  පුද්ගලයකුට සිය වෑන් රථය රුපියල් පහළොස් දහසකට උකස් කර පැන ගොස් තිබූ බව පොලිසිය පවසයි.  එම වෑන් රථය ද පොලිසිය සොයාගෙන තිබේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර අතවරයට පත් තරුණියන් දෙදෙනා ද රෝහල් ගත කර ඇත.


 ක්‍රිෂාන් ජීවක ජයරුක්