chaminda-lakshan-murder

රඹුක්කන නගරයේ පැවැති විරෝධතාව අතරතුර වෙඩි ප්‍රහාරයකින් මියගිය චමින්ද ලක්ෂාන් යන අයගේ මරණය පිළිබද  පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණි. ඒ මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරිපිටදීය.එහි දී මරණකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට පෙන්වා දුන්නේ මෙවැනි පුද්ගල ඝාතනයක් සම්බන්ධව පොලීසිය විසින් ඒ වාර්තාවක් හරහා අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැටලුසහගත බවත් මෙවැනි ඝාතනයක් සම්බන්ධ බී වාර්තතාවක් මගින් අධිකරණයට වාර්ත කළ යුතු බවත්ය.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය බී වාර්තාවක් මගින් අධිකරණය සිද්ධිය වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කරමින් අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී. පසුව මහෙස්ත්‍රාත්වරිය වෙඩි තැබීම් සිදු කළ රඹුක්කන නගරස්ථාන නිරික්ෂණය කළ අතර අදාළ දිනයේදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිවසක් ආසන්නයේ ත්‍රිරෝද රථයක් ගිනි තබා තිබූ ස්ථානයද නිරික්ෂණය කළේය. එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් ත්‍රිරෝද රථය ගිනි තබා තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස රඹුක්කන පොලීසියට නියෝග කළාය.

නිරික්ෂණය අතරතුර සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි ද ලබා ගන්නා ලදී. එහි දී සාක්ෂි ලබා දුන් සුසන්ත අනුර කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධියේදී ත්‍රිරෝද රථය ගිනි ලැබූ පොලිස් නිලධාරියා හඳුනන බවත් තමාට  හා පවුලේ අයට එල්ලවිය හැකි තර්ජන නිසා එම නිලධාරියාගේ නම සදහන් නොකරන බවයි. එහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශය කර සිටියේ අවශ්‍ය වුවහොත් අධිකරණයට කැදවන බවයි. ඉන් අනතුරුව ගිනි තැබීමට ලක්වූ ත්‍රිරෝද රථයේ රියැදුරා වශයෙන් කටයුතු කළ බණ්ඩාර විජේතුංග (29) නමැති රඹුක්කන, මඩවල ප්‍රදේශයේ පදිංචි අය සාක්ෂි දෙමින් ප්‍රකාශය කර සිටියේ අදාළ ගිනි තැබීමට ලක් වූ ත්‍රිරෝද රථය දැනට විදේශගතව සිටින මිත්‍රයෙකුගේ බවත් දැනට එය තමන් භාරයේපවතින බවත්ය. රඹුක්කන ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන මෙම විරෝධතාව ඇති වූ බවත්, එහි දී ත්‍රිරෝද රථ රියදුරන් වශයෙන් තමා හා තවත් අයෙකු මෙම විරෝධතාවට මුලිකත්වය ගත් බව ද ප්‍රකාශය කළේය.

එම නිසා රඹුක්කන පොලිස්

ස්ථානාධිපතිවරයා තමා පිළිබඳ අවධානයෙන් සිටි බවත් පැවැසීය. එමෙන්ම එස්.ටී.එෆ් නිලධාරින් හා පොලිස් නිලධාරීන් පැමිණ ත්‍රිරෝද රථයට ගිනි තබන ආකාරය තමන් විසින් දුටු බවත්, මුහුණ ආවරණ පැලැද සිටි නිසා ඔවුන් හඳුනා ගැනීමට නොහැකි බවත් මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිට දී ප්‍රකාශ කළේය. එහිදී ලසන්ත අනුරුද්ධ මහතා ද සාක්ෂි ලබා දෙන මේ අතරතුර සුසන්ත අනුර කුමාර යන අයට රඹුක්කන ඉන්ධන පිරවුම් අසල ස්ථානයක දී පොලිස් නිලධාරියෙකු විසින් තර්ජන කිරීමක් පිළිබද එම අවස්ථාවේ දී නීතිඥයෙකු මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කළ අතර එහි දී මහෙස්ත්‍රාත්වරිය රඹුක්කන පොලිස්ථානාධිපතිවරයා වෙත නියෝග කළේ අදාළ පොලිස් නිලධාරියා වහාම කැඳවන ලෙසයි. අනතුරුව සැකකාර පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත්වරිය වෙත කැඳවාගෙන එන ලදී. මෙහි  දීපාක්ෂිකරුවන්ට බලපෑම් සිදු නොකිරීමට වග බලා ගන්නා ලෙස පොලීසියට අවවාද කළේය. ඉන් අනතුරුව අදාළ සිද්ධියෙන් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අය නිරික්ෂණයට සහභාගි වූ අතර රාත්‍රී 8.45ට පමණ අධිකරණයේ කටයුතු ආරම්භ කරන ලදී.

එහිදී ස්ථාන පරිමාණය සඳහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගත්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව (නොසැලකිලිමත් ලෙස සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිමේ වරද-උපරිම දඩනය වසර පහක බරපතළ වැඩ සහිත සිර දඩුවමකි) ගරු මහේස්ත්‍රාත්තුමිය ස්ථාන පරිමාණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලීසිය විසින් ටිපෙක්සිකර මකා දමා තිබෙනු අධිකරණයේ නිරික්ෂණයට භාජන විය.අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය.

අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු විය. එසේම මෙහිදී නීතිඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස්කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්ය. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිලධාරින් මෙතරම් බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරික්ෂණ, ඉවත්කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එසේම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙසද ඔවුහු මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ.ඉන් අනතුරුව අදාළ සිද්ධිය පිළිබද හරීන්ද්‍ර උදලාගම නමැති අය සාක්ෂි කරුවෙකු ලෙස අධිකරණයේපෙනී සිටි අතර නඩුව ඊයේ (21) දින කල් තබන ලදී.එතක් මේ පිළිබඳ ලේඛන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියා භාරයේ තබන ලෙස ද නියෝග කළාය.


(කෑගල්ල - වසන්ත රෝහණ )