maradankadawala-incident

තම අනියම් බිරිඳගෙන් ණයට ලබාගත් රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදල ආපසු ලබා නොදී, සැලසුම් සහගත ලෙස ඇයව රිය අනතුරකට ලක්කර ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකු පෙරේදා 30 වැනිදා අත්අඩංගුවට ගත් බව මරදන්කඩවල පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ , 55 වැනි හරස් වීදිය, තිරෙයිමඩු, මඩකළපුව ලිපිනයේ පදිංචිව සිටි පංච ලිංගම් චන්ද්‍රතා නැමැති දෙදරු මවක වන අතර සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකළපුව, ඔට්ට මුනෙයි, පාසල් අසල පදිංචිකරුවකු බව පොලිසිය කියයි.අනියම් පුරුෂයා විසින් මෙම කාන්තාවගෙන් රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක්,

මීට පෙර ණයට ලබා ගෙන එම මුදල ආපසු ලබා නොදී ඇයව මග හරිමින් සිටියදී, ඇය විසින් කිහිපවතාවක් ඒම මුදල් ඉල්ලු අවස්ථාවේදී සැකකරු සතුව තිබූ වෑන් රථය, මුදල් ලබා ලබා දෙන තෙක් එම කාන්තාව භාරයේ තබා තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

පසුගිය 9වැනිදා සැකකරු අදාළ අනියම් බිරිඳගේ නිවෙසට පැමිණ වැන් රථය යාපනය ප්‍රදේශයට  විකිණීමට යන බව පවසා, එය විකුණා මුදල් ලබාදීමට හැකි බවත් කියමින්, එම ගමන සඳහා දරු  දෙදෙනා සමඟ සූදානම් වන ලෙස පවසා ඉකුත් 18 වැනිදා රාත්‍රී මඩකළපුව සිට යාපනය බලා යාමට ගමන් ආරම්භ කර ඇති බවත් පොලීසිය කියයි. පසුදා 19 වැනිදා අලුයම 3ට පමණ මරදන්කඩවල පොලිස් වසමේ ගනේවල්පොල ප්‍රදේශයේදී තේ  පානය කර නැවත ගමන් ආරම්භ කර මද දුරක් යන විට හබරණ මරදන්කඩවල මාර්ගයේ ගමන් ගලෙන්බිඳුනුවැව හන්දියට ආසන්නයේ ඇති පාලමේ කොන්ක්‍රීට් කොටසේ මෙම වෑන් රථය ගැටී ඇතැයි පොලිසිය කියයි.  අනතුරින් වෑන් රථයේ වම් පස අසුනේ ගමන් කරමින් සිටි එම කාන්තාව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව, මහනුවර මහ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව  පොලිසිය සඳහන් කළේය.



මෙම මරණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ පැවති නාගරික හදිසි මරණ පරික්ෂණයේදී සහ අධිකරණ වෛද්‍ය පරික්ෂණයේදී  මරණකාරියගේ පුතුන් දෙදෙනා ලබාදී තිබු ප්‍රකාශ වලට අනුව මෙම මරණය සැක සහිත මරණයක් බව, අධිකරණ වෛද්‍ය ආර්.සී. ජයසූරිය මහතා විසින් සටහන් කර තිබේ.  වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගිය තමා රියදුරු මාමා විසින් පිටුපස අසුනකට යන ලෙස දැනුම් දී, අකමැත්ත තිබියදීත් තම මව බලෙන්ම ඉදිරිපස අසුනේ හිඳුවා ගත් බවත්, අනතුර සිදුවූ අවස්ථාවේ දී වෑන් රථයේ සිරවී සිටි මව ඉන් එළියට ගැනීමට සැකකරු උදව් නොවූ බවත්,  වැඩිමහල් පුත්‍රයා මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර  තිබිණි. තම දස හැවිරිදි මල්ලී කළුවරේ අසල නිවෙසකට දිවගොස් උදව් ඉල්ලීමෙන් පසුව අවට සිටි පිරිස් පැමිණ මව රෝහල්ගත කිරිමට කටයුතු කළ බවත් මරණකාරියගේ 14 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා මරණ පරික්ෂණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.