basil-vasu-sajith

 බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර 'ඩීල්' එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට සජිත් ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර  ඇති බවත් පාර්ලිමේත්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. හෙතෙම සඳහන් කර සිටියේ "පරණ රොටිය නැවත පෙරළීමක්’ දෙදෙනා විසින් සිදු කරන බවත්,

එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් එය වළක්වා ඇති බවද නානායක්කාර මහතා පැවසීය.ඒ අනුව බැසිල් රාජපකෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය කරන අතරම සමගි ජන බලවේගයද ඔහුගේ වැඩපිළිවෙළට ඇතුළත් කරගෙන ඇති බව නානායක්කාර මහතා සඳහන් කළේය. හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී මාධ්‍යවේදීන් සහ වාසුදේව නානායක්කාර මහතා අතර පැවැති සංවාදයෙහි සටහනක් පහතින් වේ.

මාධ්‍ය - සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද? එතුමාද කුමන්ත්‍රණයකරන්නේ?
වාසුදේව නානායක්කාර මහතා - බැසින්ම තමයි.
මාධ්‍ය - ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?

වාසුදේව නානායක්කාර මහතා - ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ. මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා.



මාධ්‍ය - පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ  
වාසුදේව නානායක්කාර මහතා - පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා.
මාධ්‍ය - මැතිවරණය ගැන මොකද කියන්නේ?
වාසුදේව නානායක්කාර මහතා - අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේසන්ධානය.

මාධ්‍ය - මෙච්චර රටේ විරෝධතා තියෙදි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ? බැසිල් හොයා ගන්නත් නෑනේ?

වාසුදේව නානායක්කාර මහතා - නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයක්නේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.

මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?

වාසුදේව නානායක්කාර මහතා - ඔව්. එහෙමන්නේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොදේ.

මාධ්‍ය - සජබ විශ්වාසභංගය. පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?

වාසුදේව නානායක්කාර මහතා - ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළග සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්වදිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි. විශ්වාසභංගයේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.

මාධ්‍ය - බැසින්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ?

වාසුදේව නානායක්කාර මහතා - සජිත්ව දැනට අගමැති කරන්න බෑ, මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට.



------------------
අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සිදු කරන විරෝධතා පාගමන අතරවාරයේ කතාවක් පවත්වමින් මෙම චෝදනාවට සජිත් පිළිතුරු දුන්නේය.


“මිත්‍රවරුනි, කොහොමද අපි ආණ්ඩුව එක්ක ඩීල් දාන්නේ.  මේ රටේ තරුණ පරපුර කිසිම දේශපාලන අතකොලුවක් නැතිව  ලක්ෂ ගණනින් ජීවිත පරිත්‍යාග කරලා අර ගාලුමුවදොර සටන කරනකොට මේ හොර හැත්තත් එක්ක අපි ඩීල් දානවද? මොන විහිළුවක්ද? මිත්‍රවරුනි, මේගොල්ලො මේ කියන්නෙ ආණ්ඩුව ඇතුලෙ තියෙන අර්බුදය. කොටසක් ජනාධිපතිට යන්න කියනවා. අනිත් අය කියනවා අගමැතිතුමෝ ඉන්න. තව කොටසක් කියනවා ජනාධිපති ඉන්න. අගමැති යන්න කියලා. මේ හොර හැත්ත තුළ තියෙන මේ හොර වංචනික ඇන්දවීමට ඒ හොරකමට අපි දායක නොවෙනකොට හදනවා අපිටත් ඩීල් තියෙනවලු. අපිට ඩීල් තියෙන්නේ මහපොළොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් වූ පොදු ජනතාවත් එක්ක මිස මේ හොරු එක්ක නොවේ”