
පවතින ඉන්ධන හිගයට විසඳුම් ලබා දෙමින් රට තුළ දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙස රජයේ ඉල්ලමින් පුරවැසියෙකු දින පහක් පුරාවට කිලෝමීටර් 164 අධික දුරක් ගමනින් කොළඹට පැමිණ සංදේශයක් භාරදීම සිදුවිය.
ඔහු නමින් අශෝක චන්ද්‍රසේකරයි. නිකවැරටියේ මොරගොල්ලාගම පදිංචි ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. අවුලේගම සංඝබෝධි විද්‍යාලයේ සේවය කරන ඔහුට ඉන්ධන හිගය හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබිණි. පාගමන අවසන් කරමින් සඳුදා දිනයේදී කොළඹට පැමිණි ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් පසුව ගෝල්ෆේස් අරගල භූමියට පැමිණියේය.
එහිදී සාකච්ඡාවකට එක්වමින් අශෝක මහතා පැවසුවේ මෙවැන්නකි.
පාගමනක් එන්න හිතුවේ ඇයි?
මම වැඩට ගියේ යතුරුපැදියෙන්. පෙට්‍රල් ඉවර වුණ නිසා වැඩට යන්න විදිහක් නැහැ. බදාදා ඉස්කෝලෙ ගිහින් ආවම බ්‍රහස්පතින්දා වැඩට යන්න විදිහක් නැහැ. මේ නිසාම පහුවදා තෙල් පෝලිමට යන්න වෙන නිසා මම නිවාඩුවක් දැම්මා. නමුත් හැමදාම මේ වැඩේ කරන්න බැහැ කියන එක මෙහෙම ඉද්දිමට කල්පනා වුණා. මේ ප්‍රශ්නයට විසදුමක් ගන්න නම් මෙම විරෝධය සංකේතවත් කරමින් දැනෙන ලෙස ප්‍රකාශ කරන්න ඕන. මම ඒකට ක්‍රමයක් කල්පනා කළා. තෙල් නැතිනම් බස් එක් කොළඹ එන්නත් බැහැ. බස් ගාස්තු ගෙවාගෙන එන්නත් අමාරුයි. ඒ නිසා මම තීරණය කළා පාගමනින් කොළඹට එන්න
කොපමණ දුරක් ඇවිද්ද?
දළ වශයෙන් කිලෝමීටර් 141ක් විතර මම ඇවිදගෙන ආවා. දවසට කිලෝමීටර් 30වගේ දුරක් මම ඇවිද්දා. සදුදා දහවල් 12වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට එන්න පුළුවන්වුණා. දින හතර හමාරක කාලයකදී මට එන්න පුළුවන් වුණා.
මේ අරගලය ගැන මොකද හිතෙන්නේ?
ජනතාව බුද්ධිමත් වෙනඑක හොදලක්ෂණයක්. ජනතාව ඉදිරිට එන්න ඕනෙ. හැබැයි ඒ එන්න ඕන කන්න නැති වෙනකොට විතරක් නෙවෙයි. ජනතාව දේශපාලනික කියවීමක් ඇතිවයි ඉදිරියට එන්න අවශ්‍ය. ද
ේශපාලන අවබෝධයක් නැතිනම්, කියවීමක් නැතිනම් පාලකයන්ට පලයව් පලයව් කියලා කෑ ගැහුවට මේ කරන දේගැන අර්ථදක්වාගන්න මේ අයට අපහසුයි. අපි පලයං කියල කියන්නෙ ඕනෙ මේ දේ හරියටම තේරුම් අරගෙන . භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර්වලට මොකද වුණේ. ඒඩොලර්වලට මොකද වුණේ කියල හෙළිදරව් වෙන්නේ නැතිනම් ඇයි එහම හෙළිදරව් වෙන්න ඇත්තේ. පාස්කු ප්‍රහාරය ඇතුළු මේ රටේ නොවිසඳුණු අපරාධ කල් කවුද කියලා හොයාගන්න බැරි ඇයි? ඇයි මේ දේවල් හංගගෙන ඉන්නේ. කිසිම වැරැද්දක් නොකර වචනයෙන් උසාවියට අපහාස කළා කියපු රන්ජන් රාමනායක ඇයි හිරේ ඉන්නේ? හොරකම් කළා කියලා පැහැදිලි සාක්ෂි තියෙන උසාවිවල නඩු යටගහගෙන තියන අය අපූරුවට පාර්ලිමේන්තු ගිහින් රටට නීති හදනවා. මිනිස්සු මෙන්න මේ දේවල් ගැන හොයල බලන්න ඕනේ.
වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවත් ඔබ පවසා තිබුණා. මේ ගැන කතා කළොත්?
මම රජයේ සේවකයෙක්. අපි රාජ්‍ය සේවයට එද්දි දිවුරුම් ප්‍රකාශකයකට අත්සන් කරනවා.ඒ අත්සන් කරන එකේ මගේ වත්කම් වැඩි වෙලානම් ඒ වැඩි වුණේ කොහොමද කියලා මට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. අපේ පැත්තෙ ඇමතිවරයෙක් ඉන්නවා. ඒ ඇමතිවරයාට රාජ්‍ය ඇමතිකමක් ලැබිලා මාස තුනක් විතර යනකොට එයා කෝට් අටක් දීල ඉඩමක් ගත්තා. කෝටිඅටක් කොහෙන්ද එයාට ලැබුණේ. අමාත්‍යාංශය කෝටි අටක් හොරකම් කරන්න පුළුවන් තරම් කාලයක් නෙවෙයි මාස තුනක් කියල කියන්නේ. එහෙම නම් ඇමතිකම ගන්නත් කෝටි අටක් දීලද කියලා මට හිතෙනවා. මේ දේවල් විගණනය කරන්න ඉඩ දෙන්න ඕනේ.
තරුණ පරපුරේ ඉදිරියට ඒම ඔබ දකින්නේ කෙසේද?
තරුණ පරපුර දැන් හොදයි. මොකද මේ එළියට බැහැලා ඉන්නේ තාප්පවල චිත්‍ර ඇදපු තරුණයෝමයි. ඔවුන් තාප්පවල චිත්‍ර ඇන්දා. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ මතය, හැකියාව ඉදිරිපත්කරන්න. දැන් පාරට බැහැලා ඉන්නෙත් මේ තරුණයොම තමයි. ඔවුන් රැවටුනා කියල දැන් ඔවුන්ට තේරිලා . කොහොම වුණත් තරුණයෝ අරගල කරලා හොද පාලනයක් බිහි කරගන්න පුළුවන් වෙයි. ඒකට උගත් බුද්ධිමත්ම සහාය දෙන්න ඕන කියලා අපි හිතනවා.එහෙම සහාය දෙන්න කියලත් ඉල්ලනවා.
(චාමර සම්පත්)
Comments
Post a Comment
Your comment will be visible after approval