theshara-jayasinghe-speaks

ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු ගණනකින් ඉහළ යනු ඇති බවත්, මිල වැඩි කිරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සහාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (30) පැවසීය. ගෑස් මිල කොපමණ මුදලකින් ඉහළ යනවා දැයි මේ මොහොත වනවිට පැවසිය  නොහැකි බව

කී සභාපතිවරයා, මෙම මිල ඉහළ දැමීම කොයි මොහොතේ හෝ සිදුවිය හැකි බව ද සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන අතර, පසුගිය දින 10ක කාලය තුළ, ගෑස් සිලින්ඩර ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය.

ලබන අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක ඇණවුමක් ලබාගැනීමට මේ වනවිට සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

නියමිත මිලට වඩා වැඩියෙන් ගෑස් අලෙවි කරන අලෙවි නියෝජිතයන් හෝ කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු වාරතා වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීතිමය කටයුතු කරනු ඇති බවත්, එවැනි අලෙවි නියෝජිතයන්ගේ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.  ඔහු මෙසේ පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.