The-14-year-old-girl-who-came-home-after-a-fight-with-her-mother-was-molested-by-eight-people-for-10-days

සිය මව සමග දබරවී නිවසින් පැන ගිය 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සංගීත ප්‍රසංග භූමියක සිටිය දී රවටා රැගෙන ගොස් දින 10 ක් විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලීසි මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අට දෙනකු සහ මෙම අපරාධයට ආධාර අනුබල දුන් බව කියන හෝටලයක කළමනාකාරිණියක ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්. ගස්සාලි මහතා නියෝග කළේය.



අතවරයට පත් දැරිය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පරිවාස බාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට තවදුරටත් නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. මෙම අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද  වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට තවදුරටත් නියෝග කළේය.  මෙසේ රිමාන්ඩ් කළේ ටී. කුමාරසේකර, අසිස් අහමඩ්, සහරාන් නියාස්, එස්. විශ්වනාත්, එම්. ආයාස්, එස්.එල්. ඒකනායක, කිත්සිරි ඉලංගසිංහ, කරුණාතිලක ජයසිංහ සහ ඉපලෝගම කැකිරාව පාර පිහිටි ඒ වූ ඉසඩ් හෝටලයේ කළමකාරිනි සබීතා කුමාරිහාමි යන නව දෙනාටය.

ඔවුහු කැකිරාව රත්මල්කන්ද තිබ්බටුවැව සහ ඉපලෝගම පදිංචිකරුවෝ වෙති.


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කැකිරාව සහ ඉපලෝගම පොලිසි සඳහන් කළේ, සිය මව සමග දබරව අමනාප වී ඇති මෙම දැරිය ඉකුත් 14 වැනිදා සිය නිවෙසින් පැන ගොස් ඇති බවයි. එසේ පැනගොස් සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයකට ගොස් එහි සිටින අතරතුර සැකකරුවන් කිහිප දෙනකු දැරිය රවටාගෙන රැගෙන ගොස් බරපතළ  ලෙස රංචු ගැසී වරින් වර දූෂණය කර ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය පසුව සෙසු සැකකරුවන්ට ද දැරිය දූෂණය කිරීම සදහා ලබා දී ඇති බව ද කීවේය.



කැකිරාව සහ ඉපලෝගම පොලිස් බල ප්‍රදේශවල පිහිටි පැන්නුම වලව්වේගම සහ කන්නන්මඩුව සහ තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි හෝටල සහ නිවාස කිහිපයක දින 10 ක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් දැරිය දූෂණය කර ඇති බව ද අධිකරණයට සැළකළ පොලිසිය තම දැරිය ආගිය තැනක් නොමැති බවට ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය.

  මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව ද පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වීය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුර මැද පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුරිතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා වෙනමම තවත් විමර්ශනයක් සිදු කරයි.