maithripala-house-padget-road

මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදිය.
සති හතරකින් මෛත්‍රී බඩු පටවාගෙන යායුතුය. නඩු විබාගයෙන් පසු ගන්නා තීන්දුව අනුව ඔහුට එය අහිමිවේද නැද්ද යන්න ස්ථිරව කියනු ඇත.

2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අනුව කටයුතු නොකරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට තවත් අතුරු නියෝගයක් නිකුත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ද විසින් මෙම නියෝග  නිකුත් කරන ලදි.



විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත් කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.


 එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල් මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද පැවසීය.

එම නිල නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව යැයිද මෙම නිවස සඳහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතු විය හැකි යැයිද ප්‍රකාශ කළේය. වැරදි සහ නොමග යවන සුළු කරුණු පදනම් කර ගෙන පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි පැවසු මුස්තාපා මහතා, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග නිකුත් නොකරන්නැයිද ඉල්ලා සිටියේය.




මෙම පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සඳහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු නිවැරදි නොවන්නේ යැයිද, මෙම නිවස හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය 2019 ඔක්තෝබර් මාසයේදී ගනු ලැබූ තීරණය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට පටහැණි යැයිද පෙන්වා දුන්නේය. මෙම තත්වය හේතුවෙන් විශ්‍රාමික ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට 2019දී අමාත්‍ය මණ්ඩල ගනු ලැබූ තීරණය අහිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියේය.

 නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන්නයි. ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අතර, පෙත්සම විභාගය සඳහා මැයි මස 18 වැනිදා මෙම පෙත්සම යළි කැඳවීමට නියම කළේය.



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය නිවස සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,

“උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදුවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.
“හිටපු ජනාධිපතිවරයෙක් විදිහට එතුමාට පොළොන්නරුවට ගිහින් ඉන්න බෑනේ.”
“ඒ නිසා මේ පිළිබඳව අපි ඉදිරියේදී ගතයුතු තීරණ මොනවාද කියලා සාකච්ඡා කරනවා.”