
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරා ඝාතනය කළ බව කියන පුද්ගලයකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. මෙම සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු යුද හමුදාවෙහි විශේෂ බළකායේ හිටපු සෙබළකු වන අතර, අනෙකා පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයකු බව ද පොලීසිය සඳහන් කරයි. ඝාතනය සම්බන්ධයෙන් පියා සහ එක් පුතකු දෙහිවල පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකා දකුණු කොළඹ ශිෂ්ණ රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් බව ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ (පියා) බිරිඳ සහ තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පිළියන්දල මාවිත්තර ගම්මානවත ප්‍රදේශයේ පදිංචි පියකු සහ පුතුන් දෙදෙනෙකි. සැකකාර පියා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු වන අතර, මොහුගේ එක් පුතකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයකු බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙසේ ඝාතනය කර ඇත්තේ, පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක ගයාන් නමැති 41 හැවිරිදි අයෙකි. දියණියන් දෙදෙනකුගේ පියා වන මොහු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පෞද්ගලික රියැදුරු ලෙස සේවය කළ බව ද පොලීසිය කියයි. පොලීසිය පවසන ආකාරයට එම සිද්ධිය මෙසේය.
ඝාතනයට ලක්වූ රියැදුරු ගයාන් නමැත්තා සිය බිරිඳ සමග පෙරේදා (21) සවස 5.30ට පමණක් නිවෙස ඉදිරිපිට මාර්ගය අයින්නේ වී වේළමින් සිට ඇති අතර, ඒ අවස්ථාවේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන නිරෝෂ් නමැත්තා ගයාන් නමැත්තාගේ නිවෙස ඉදිරිපිටින් මහා ශබ්දයක් කරමින් අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කරගෙන එහා මෙහා ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේ ගයාන් නමැත්තා යතුරුපැදිකරු නවතා තමන්ගේ දරුවන් ද මාර්ගය අයිනේ සිටින නිසා අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය නොකරන ලෙස ඉල්ලා තිබේ.
මෙම අවවාදය නොරිස්සූ යතුරුපැදිකරු ගයාන් සමග බහිනබස් වී ඇති බවත්, ඒ අවස්ථාවේදී මෙම බහින්බස් වීමට ගයාන් නමැත්තාගේ බාප්පා වන සෝමරත්න නමැත්තා ද මැදිහත් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ‘තොපිව මරණවා යැයි කියමින් යතුරුපැදිකරු පිටව ගොස්, ඔහුගේ පියා (යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළා),
අයියා (පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්) සමග මවත්, තවත් දෙදෙනකු ද සමග කඩු, බෝතල් හා පොලු මුගුරු රැගෙන ගයාන් නමැත්තාගේ නිවෙසට කඩා වැදී ඇතැයි පොලීසිය පැවැසීය. කඩු, පොලු, මුගුරු රැගෙන මොවුන් එනවා ඈත තියා දුටු ගයාන් නිවෙසින් පලාගොස් ඇති බව කියති.
ඒ අවස්ථාවේදී පැමිණි පිරිස ගයාන්ගේ බාප්පා වන සෝමරත්න නමැත්තාට පහර දී ඇති අතර, ඒ බව දුටු ගයාන්, ඔහුව (බාප්පා) බේරා ගැනීමට දිවවිත් ඇතැයි ද පොලීසිය කියයි. “තෝ කා ළඟ වැඩ කළත් අපිට වැඩක් නැහැ" යැයි කියමින් පිරිස ගයාන්ට කඩුවකින් හා පොලු මුගුරුවලින් පහරදී ඔහු බිම ඇද වැටුණු පසුව පලාගොස් ඇත. බරපතළ තත්වයේ සිටි ගයාන් පිළියන්දල රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරික්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි ද පොලීසිය කීය. මොහුගේ හිසේ, අත් දෙකේ,
පපු පෙදෙසේ හා උදරයේ ද තුවාල දක්නට තිබෙන බව පොලීසිය සඳහන් කළේය. යුද හමුදා විශේෂ බළකායේ සේවයෙන් ඉවත්ව සිටින ප්‍රධාන සැකකරු ධීවර කර්මාන්තයේ යෙදී සිටින බව ද පොලීසිය කියයි. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කැස්බෑව පොලීසියට බාර දී තිබේ. සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ සිට මාවිත්තර ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර හයකට පමණ පෙර බව ද කියති.
-ඉන්දිකා රාමනායක--