Unable-to-bear-the-hunger-of-the-children-the-father-committed-suicide


දරුවගේ බඩගින්න වාවනු බැරීව ගෙල වැලලාගෙන මියගිය සිවුදරු පියාගේ අවසන් කටයුතු කිරීමට මල්ශාලාවට ගෙවිය යුතු වූ රපියල් 17,500ක මුදල් සියයට විස්සක පොලියට ලබාගත් බව එම සිවුදරු පියාගේ මව වන පී. රුක්මනී මහත්මිය ඊයේ (1) පැවසුවාය. 



 මෙම මුදල් සොයාගැනීමට නොහැකිව මියගිය සිවුදරු පියාගේ බිරියට මෘතශරීරාගාරය අසල බොහෝ වෙලා රැඳී සිටීමට සිදුවී ඇත. මෙම සිවුදරු පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය ඊයේ (01) දහවල් සඳහන් කළේය. 

මතුගම, වැලිපැන්න රණවිජයගම ප්‍රදේශයේ පදිංචිව සිට ඉකුත් 26 වැනිදා ගෙලවැලලාගෙන මියගිය ත්‍යාගරාජන් රංජන් නමැති සිව්දරු පියාගේ මෘතදේහය නාගොඩ මහ රෝහලට රැගෙන විත් තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවද එහිදී කළ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

මියගිය ත්‍යාගරාජන් රංජන් යන අයගේ බිරිඳ වන මංජුලා දේවි සිය මව සහ බාල සොහොයුරන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග දේහය භාරගැනීමට පැමිණ සිටි නමුත්, කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දැනගැනීමට ලැබීමත් සමගින් දේහය බාරගැනීමට අවසර  නොලැබුණි.



ඒ අනුව නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික මල්  ශාලාවකට රුපියල් 17,500 ක මුදලක් ගෙවීමට ඔවුන්ට සිදු වූ අතර, එම මුදල ගෙවා ගැනීමට  නොහැකිව මංජුලා දේවි මහත්මිය අසරණව මෘත  ශරීරාගාරය අසල රැඳී සිටියාය. පවුලේ ඥාතීන් ඊයේ පෙරවරුවේ එම මුදල සොයා ගැනීමට මහත් වෙහෙසක් ගනු ලැබූ අතර, පසුව සියයට 20ක පොලියට එම මුදල ලබාගත් බව මියගිය තැතැන්තාගේ මව වන පී. රුක්මනී මහත්මිය පැවසුවාය.  දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව මතුගම පාන්තිය පොදුසුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.