
කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකෙරෙන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබාදෙන නව නිවාසවල යතුරු බාරදීමේ උත්සවයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.
‘කන්න නැති තත්වයක් මේ රටේ නෑ. අපි ඒක පිළිගන්න ඕනෑ. ඉන්ධන මිල මෑතක වැඩි වුණා. ඒත් කිසිම වාහනයක් අඩුවෙන් ධාවනය වෙනවා ඔබ දැකලා තියෙනවාද? අවුරුදු එක හමාරක් ගෙවල හිරවෙලා හිටියා කියලා ජනතාව දන්නවා. ඒ කාලේ කරගන්න බැරි වුණ දේවල් කරගන්න උත්සාහ දරනවා. රටේ ආර්ථිකය සහ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් ජනතාව තමන්ගේ මුළු ශක්තියම යොදවලා ලොකු කැපවීමක් කරනවා.
අපි පිළිගන්න ඕනෑ අද සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් වෙන්නේ මේ යුගයේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පස්සේ වැඩියෙන්ම මාර්ග හැදෙන්නේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේයි.
පෞද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ. අද ඊටත් වැඩිය හැදෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ. විපක්ෂයට මේ දේවල් ඇහේ කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දකිද්දීත් ඔවුන් හරියට දුක් වෙනවා. ඔවුන්ගේ කාලේ කරන්න බැරි වුණ එක ගැන. පාලමක් හැදෙනවා දකිද්දී ඔවුන්ට හරි දුකක් ඇති වෙනවා අපට මේක කරගන්න බැරි වුණා කියලා.
ඕක තමයි ඇත්ත තත්වය. ලංකාවේ පළලතම පාලම පාමංකඩ පාලම ලබන අවුරුද්දට පෙර විවෘත කරනවා. එහි ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කරනවා. ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුණත් සැලසුම් වෙනස්වීමක් නිසා එය කෙටි කලක් ප්‍රමාද වුණා‘