A-student-of-a-leading-school-in-Colombo-has-been-abused-for-4-years

වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන  කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මගහරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නාය. 

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම් කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.



ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ති රේණුකා මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් නිතීඥ සහන් ප්‍රනාන්දු, නීතීඥ දිලුම් බණ්ඩාර, නීතීඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග  නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම තැනැත්තිය අදාළ දරුවන්ගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පරිගණක විද්‍යාගාරයේ සිට නිලඇඳුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය:- ස්වාමිනී, මෙහි ඉල්ලුම්කාරිය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කළ පැමිණිල්ලකට අනුව සිය පෙම්වතා වන අදාළ තරුණයා (එවකට සිසුවා) ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් තමන්ට හිරිහැර සිදුකරන බවත් සඳහන් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය විමර්ෂනය කළා. ඔහු අදාළ පාසලේ පරිගණක අංශයෙන් ඉගෙන ගත් සිසුවකු ලෙසින් වයස අවුරුදු 18ට අඩු කාලයේදී මෙම සිද්ධිය වී ඇති බවට කරුණු අනාවරණය වුණා. ඔවුන් ගල්කිස්සේ පිහිටි හෝටලයකට විවිධ අවස්ථා ගණනාවකදී ගිහින් තියෙනවා. ඒ සඳහා ඔන්ලයින් මගින් තමයි කාමර ස්වෙන්කරගෙන තිබුණේ. ඒ සඳහා ගිය මුල් දවස සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂනයක් කරමින් තිබෙනවා. මේ දරුවාගේ උපන්දිනය 2001 වශයෙන් සඳහන් වුණා."



මහේස්ත්‍රාත්වරිය:- නීතියට අනුව වයස අවුරුදු 18ට වැඩිවුණා නම් මේක නඩුවක් වෙන්නේ නැහැ. 18ට අඩු නිසා තමයි මේ නඩුවක් වුණේ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවට මෙම සිද්ධිය මාධ්‍යවල ප්‍රචාරය වීම හේතුවෙන් උණ රෝගය වැළඳුණ බවත්,  මේ වන විට මෙම ආදර සබඳතාවයක් හේතුවෙන් ඇය දඬුවම් විඳින බවත්ය.

නීතීඥ අජිත් පතිරණ මහතා- ස්වාමිනී, මගේ සේවාදායිකාව පශ්චාත්  උපාධිධාරිනියක්. ඇය උසස් පෙළ ළමයින් සඳහාත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම් සිදුකළා. මෙම දරුවා අධ්‍යාපනයට උනන්දුයි. ඒ නිසාම නිතරම වාගේ ගුරුවරියට දුරකතනයෙන් කතා කරලා එක එක දේවල් ගැන අහගත්තා. පසුව ඇසුරකට ආවා. මගේ සේවාදායිකාව ඒ ඇසුර සමනය කරන්න නැත්නම් මග හරින්න උත්සාහ ගත්තා. ඇය පාසල් එන්නේ නැතුව ඒ දේ මගහැරියා.

පාසල් භූමියේ ඇසුරක් පැවැත්වූයේ නැහැ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසේ දවසක හෝටලයට ගියා කියනවා. එතකොට පිරිමි ළමයාට වයස අවුරුදු 18යි. මේ පිරිමි ළමයාගේ පියා උසස් පොලිස් නිලධාරියෙක්. මේ විමර්ශනය ඒක පාර්ශවිකයි. මේ විමර්ශනයට අදාළ කතාව නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න ළමා හා කාන්තා කාර්යාංශයට දීලා තිබෙනවා. මගේ සේවාදායිකාවට අපහාස කරන්නයි මේ දේවල් කරලා තියෙන්නේ. මේ දේවල් මාධ්‍යවල ගියාම ඇයට උණ ගත්තා. ආදර සම්බන්ධතාව නිසා ඇය දැන් ජාත්‍යන්තර වශයෙනුත් දඬුවම් විඳිමින් සිටිනවා.



මහේස්ත්‍රාත්වරිය:- දරුවන් සම්බන්ධයෙන් පාසල තුළදී වත්ම පාසල් කාලයේදී මෙවැනි ඇසුරවල් දෙමාපියන් කිසිදු විටෙක අපේක්ෂා කරන්නේ නැහැ. මෙහිදී දරුවා සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය එම වාර්තා පරික්ෂා කර බැලීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩුව අද (30) දක්වා කප්තැබීමට නියෝග කළේය. අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

(නිමන්ති රණසිංහ -lankadeepa)
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වෙලා