A-student-of-a-leading-school-in-Colombo-has-been-abused-for-4-years

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10 වැනිදා) නියෝග කළාය.

එම බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ  තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස මහ හෝටලයේදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම පාසැලේ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගයේදී  මෙම ගුරුවරිය එම දරුවා හඳුනාගෙන ඇති බවත්, පසුව අතපසු වූ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ඕනෑම මොහොතක අමතන ලෙසට දැනුම් දෙමින් ඇයගේ ජංගම දුරකතන අංකය දරුවාට ලබාදී ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පසුව වසර හතරක් පුරා දරුවාගේ ජංගම දුරකතනයට වට්ස්අප් පණිවිඩ එවමින් ඔහු සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති අතර, දරුවා වසර 18ක් සපිරෙන තෙක් නොයෙක් ස්ථානවලට රැගෙන ගොස් ඇති බවටත් කරුණු ඉදිරිපත් වී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පසුව එම ශිෂ්‍යයාට වසර 18 සම්පූර්ණ වූ පසුව ඔහු ගල්කිස්ස හෝටලයට 60 වතාවකට වැඩි වාර ගණනක් රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති අතර හෝටලයට ඇතුළුවන අවස්ථාවේදී ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත ලබාදී ඇති බවත් සියලුම වියදම් ඇය විසින්ම දරා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වූ බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.

වසර හතරක් අවසානයේ විසි හැවිරිදි තරුණයා වෙනත් තරුණියක හා සබඳතාවක් පවත්වන බවට දැනගත් ගුරුවරිය තරුණයාගේ සියලු සම්බන්ධතා නවතා දමා ඇති බවත්, පසුව තරුණයා විසින් ඔවුන්  දෙදෙනාගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට රාශියක් පෙන් ඩ්‍රයිවරයකට දමා දීර්ඝ ලිපියක් ද ලියා ගුරුවරියගේ නිවසේ ලියුම් පෙට්ටියට දමනු ලැබ ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.  නැවත මෙවැනි ක්‍රියාවක් කිසිදු දරුවකුට නොකරන ලෙසට ගුරුවරියට අවවාද කරමින් මෙම තරුණයා එම ලිපිය ලියා වීඩියෝ පට සමග ලියුම් පෙට්ටියට දැමීමෙන් පසුව ගුරුවරියගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් සකස් කර ඔවුන් දෙදෙනා එක්ව ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මුල් පැමිණිල්ල එනම් තමන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවට තම කාර්යාංශයට සිදුකරනු ලැබුවේ එම ගුරුවරිය විසින් බවත්, පසුව සිදුකරන ලද විමර්ශනයේදී දරුවාට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මේ වන විට එම ගුරුවරිය පාසල් ශිෂ්‍යයාගේ හැසිරීම හේතුවෙන් පාසලින් ඉල්ලා අස්වී ඇති බව ද ඇයගේ පැමිණිලෙන් දක්වා තිබූ බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.