exercise-books-price-hike

අභ්‍යාස පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි හිඟ වීම හා කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් අභ්‍යාස පොතක මිල රුපියල් 20ත් 35ත් අතර මිලකින් ඉහළ දැමීමට කටයුතු කරන බව පාසල් උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි රිල් එකක මිල රුපියල් 1,200 සිට රුපියල් 4,500 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පොත්වල පිටකවරය සකස් කිරීමට ගන්නා කාඩ්බෝට්වල මිලත් ඉහළ ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

කඩ්බෝඩ් මිස්ල ඉහළ යාම නිසා බ්‍රිස්ටල් බෝඩ් එකක මිල රුපියල් 15කින් ඉහළ යන බවත්, ඩිමයි කොළයක මිල රුපියල් 10කින් පමණ ඉහළ යන බවත් ඔවුහු පවසා සිටිති.

මේ අනුව පිටු 40 පොතක මිල රුපියල් 35 සිට රුපියල් 55 දක්වාත්, පිටු 80 පොතක මිල රුපියල් 55 සිට රුපියල් 75 දක්වාත්, පිටු 120 පොතක මිල රුපියල් 70 සිට රුපියල් 98 දක්වාත්, පිටු 160 පොතක මිල රුපියල් 105 සිට රුපියල් 138 දක්වාත්, පිටු200 පොතක මිල රුපියල් 125 සිට රුපියල් 160 දක්වාත් ඉහළ දැමීමට සිදුව තිබෙන බවද උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. එසේම පිටු 40CR පොතක මිල රුපියල් 65 සිට රුපියල් 82 දක්වාත්, පිටු 80cR පොතක මිල රුපියල් 120 සිට රුපියල් 148 දක්වාත්,

පිටු 120cR පොතක මිල රුපියල් 160 සිට රුපියල් 180 දක්වාත් ඉහළ යන බවද එම පිරිස් පෙන්වා දෙති. ප්‍රමිතියෙන් තොර කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා අඩු අගයන් ගත හැකි බවත්, ඉතාමත් උසස් තත්වයේ කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවත් ඔවුහු පවසා සිටිති. එමෙන්ම නව මිල ගණන් ඉදිරියේදී නිෂ්පාදනය කරන පොත් සඳහා අය කර ගන්නා බවත්,

පවතින තත්ත්වය තුළ රුපියල් 10කට අලෙවි කරන පෑනක මිල රුපියල් 15ක් දක්වා ඉහළ යන බවත් ප්‍රකාශ කළ එම පිරිස්, විවිධ ගම් වර්ග, පාට පැන්සල්, පාට කූරු,

දිය සායම් මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවද පෙන්වා දෙති. පොත් අලෙවි කරන ස්ථාන මගින් අලුත් පාසල් වාරය නිමිති කරගෙන විශාල තොග ප්‍රමාණයන් ඉල්ලීම් කළත්, පවතින කඩදාසි හිඟය නිසා අදාළ ඉල්ලීම සම්පුර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන බවද ඔවුහු සඳහන් කරති.

(ඉන්දික හේවාවිතාරණ)