Petitions-against-closing-the-door-to-public-places-without-three-shots-dropped

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වැනිදායින් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය. බහුතර විනිසුරුවන්ගේ තීරණය මත මෙම පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම්, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, සහ කුමුදිනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෙමඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිඥ නුවන් බෙල්ලන්තූඩුව මහතා මගින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා වීවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබද කථිකාචාර්ය හේමසිරි ජයතිලක, වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා, මීගමුව හිටපු නාගරික මන්ත්‍රී සුලෝචන පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසකි.කෝවිඩ් මර්දනය සඳහා වන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ජනවාරි මස 25 වැනිදා නිකුත් කරන ලද 2264/22 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම්වලින් දක්වා තිබිණි.



මෙමගින් ජනතාව බිය ගැන්වීමක් සිදුවන බවත් එන්නත් ලබා ගැනීම හෝ නොගැනීම එම පුද්ගලයාගේ පෞද්ගලික අභිමතය වන බවත් සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්කරු, එන්නත් විදීම සම්බන්ධයෙන් කිසිවකුට හෝ බල කළ නොහැකි බවද පෙත්සම්වලින් දක්වා තිබිණි. මෙම එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර, එන්නත් විදීම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ජනතාව යොමුවීම වළක්වන බවත්, එමගින් දේශීය වෛද්‍ය ක්‍රමයට මරු පහරක් එල්ලවන බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත. මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මෙමගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එසේම, මෙම ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

 -නිමන්ති රණසිංහ-