මේ වන විට රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවල හිගයක් ඇති අතර ඉදිරි සති දෙක තුන තුළ දී රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 25ක පමණ ප්‍රමාණයක හිගයක් ඇතිවන බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති සංජීව විජේසේකර මහතා පවසයි.  දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි රෝග ගණනාවකට අත්‍යවශ්‍ය වන ඖෂධ පවා මේ වන විට හිගව තිබෙන බව ද කොළඹ දී පෙරේදා 2 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී විජේසේකර මහතා පැවසීය.  ඩොලර් හිගය සහ වාණිජ බැංකු ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් මෙරට ඇතැම් ඖෂධ සැපයුම්කරුවන් රටට ඖෂධ ගෙන්වීම අතහැර දමා ඇති බව ද ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍ය ඖෂධ වර්ග 60 ක පමණ හිගයක් මතුව  ඇතැයි ද ඒ පිළිබඳව බලධාරීන් උනන්දුවක්  නොදක්වන බව ද

ශ්‍රී ලංකා  ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා කීවේය.  ලෝක වෙළෙඳපොළේ ඖෂධ මිල ඉහළ යාමත්, ඩොලරය ඉහළ යාමත් නිසා ශ්‍රී ලංකාවේ තිබෙන පාලන මිලට ඖෂධ ලබාදීම දුෂ්කර වී ඇතැයි ද සංජීව විජේසේකර මහතා සඳහන් කළේය.  ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 85 ක්ම ආනයනය කරන අතර ඉන් සියයට 50 ක්ම පෞද්ගලික අංශය මගින් ආනයනය කරන බව ද හෙතෙම පැවසීය. පැරසිටමෝල්වල දැඩි හිඟයක් පවතින අතර ජීවිතාරක්ෂක ඖෂධවල ද හිගයක් මතුව ඇතැයි ඔහු කීවේය.

ඉදිරි සති දෙක තුන ඇතුළත මෙරට ඖෂධ හිඟය උග්‍රවන අතර එමගින් රෝගී ජීවිත අනතුරේ වැටෙන හෙයින් බලධාරීන් කඩිනමින් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ද විජේසේකර මහතා කීවේය. මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා මසකට ඩොලර් මිලියන 25 ක් පමණ අවශ්‍ය වන අතර එය ලබා දීමට බලධාරින් උනන්දු විය යුතු බව ද ඔහු පැවසීය.

  දිනපතා පැය ගණන් විදුලිය කපා  හැරීම නිසා ඖෂධ ගබඩාකරණය කර වී ඇතැයි ද ඩීසල් හිගය නිසා ඖෂධ බෙදාහැරිම නතර වී ඇතැයි ද එහිදී සභාපතිවරයා කීය.  ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වූ  එම සංසදයේ හිටපු සභාපති අඩ්රින් බස්නායක මහතා සඳහන් කළේ ලංකාවේ පාලන මිලට ඖෂධ විකිණිය නොහැකි බවය.  

අවසන්වරට ඖෂධ මිල සංශෝධනයක් සිදුවූයේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී වන අතර ඉන්පසුව ඩොලරයේ අගය වැඩි ප්‍රතිශතයකින්  ඉහළ ගිය ද මිල වැඩිවීමක් සිදුනොවූ බව ද බස්නායක මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ හිටපු සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන්, ලේකම් ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 -රංජන් කස්තුරි--