panadura-woman-murder-updates

පසුගියදා පානදුර ‘ඕෂන් විලා‘ හෝටලයේ වැසිකිළි වළකින් හමුවූ තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.
26 හැවිරිදි වියේ පසුවූ ඇය දෙදරු මවකි. කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම තරුණිය කඩවත ඩිමෝ හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක රැකියාව කර ඇති බව නවතම අනාවරණයයි.
කෙසේ වෙතත් මෙලෙස ඇය හමුවූ බව දැනගත්තේ තම නවක සමාජ ශාලා සේවිකාව ගැන ඇති කරගත් විපරම නිසා බවත් ඇය එහි රැකියාවට පැමිණ දිනක් පමණ ගතවී තිබියදී සමාජ ශාලාවට පැමිනි කිසියම් අයෙකු හා පිටතට ගොස් ඇති හෙයින් ඇය පසුදින වැඩට නොඒම ගැන සොයා බැලූ බවත්

රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු පොලීසියට පවසා ඇත.
දිල්හානි නමින් හඳුන්වන ඇය ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක බව පසුව සිදු කළ විමර්ශන වලදී තහවුරු විය.
ඇය ගැන මුල් හෝඩුවාවන් ලද පසු අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇයගේ මිතුරෙක් පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන ආකාරයට ඇය ඝාතනය වූ හෝටලයේ දින කිහිපයක්ම ගත කොට ඇති අතර හෝටලයේ රැඳිසිටියදී එහි කාමරයක් තුළ ටික්ටොක් වීඩියෝ නිරූපණයක්ද සිදු කර ඇත. එය ඇය සිය මිතුරන් සමග හුවමාරු කරගෙන තිබෙන බවද පොලිසියට පැමිනි මිතුරා දන්වා තිබේ.
හෝටලයේ කළමනාකරු විසින් මෙම කාන්තාව ඉකුත් 21 හෝ 22 යන දින පානදුර ඕෂන් විලා හෝටලයට රැගෙනවිත් තිබෙන අතර ඇයව විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවට සාක්ෂි හමුවී තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හෝටලයේ සේවක සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට සඳහන් කර ඇත්තේ ඇය 26 වනදා හෝටල් කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවත් පසුව ගැටලුවක් මතුවිය හැකි නිසා වැසිකිළි වලේ මළ සිරුර සැඟවූ බවයි.


නමුත් අනෙක් සැකකරු එවැනි යමක් ගැන සඳහන් කර නැති අතර ඝාතන චෝදනාවෙන් බේරෙන්නට ඔහු සාවද්‍ය තොරතුරු සපයා ඇති බව පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට ඒත්තු ගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව අනෙක් අය හා සම්බන්ධවී ඇත්තේ සිය කැමැත්තෙන් බවට තොරතුරු තිබෙන අතර ඇයව ඝාතනය වන්නට ඇත්තේ මුදල් ආරවුලක් හෝ වෙනයම් හේතුවක් මත විය හැකි බවට පොලිසිය සැකතකරයි.
පෞද්ගලික ආරවුලක් මුල්කර ගෙන මෙම කාන්තාවට පහරදී ඝාතනය කළාද? යන්න විමර්ශන නිලධාරීන්ගේ
අවධානය යොමු වී ඇති අතර මළ සිරුර සමග හමුවූ පිහිය ඇය ගාතනයට උපයෝගී කරගත්තක්ද යන්න ගැන විමර්ශන සිදුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයනු ලබන හෝටලයේ කළමනාකරු සහ අනෙක් දෙදෙනා
අතර එම හෝටලයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතෙක් වන පිටස්තර පුද්ගලයක් ද සිටින බවත්
අනාවරණය වී තිබේ.


එම පුද්ගලයා තොටලග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදුවූ වෙඩිතැබීමකට අදාළව
පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයක් වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාවට අයත් අත්බෑගය හෝටලයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා ඇති ස්ථානයකදී
සැකකරුවන් විසින් පුළුස්සා තිබූ හෙයින්  ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී
ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  පොලිස් පරීක්ෂණ තවදුරටත්  සිදුවේ.