It-was-said-that-50000-saplings-would-be-planted-but-not-even-10-saplings-were-planted

පරිසර අමාත්‍යාශය විසින් 2021 වසරේ පෙබරවාරි 14 වැනිදා වීරවිල වැව් පිටියේදී ක්‍රියාත්මක කරන ලද 'මී පැළ 50,000ක්” රෝපණය කිරීමේ වැඩසටහන යටතේ මෙතෙක් රෝපණය කර ඇත්තේ, මී පැළ 10කටත් අඩු සංඛ්‍යාවක් පමණක් බව වාර්තා වේ.මේ පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී පරිසර අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියේ,



ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා ආහාරපාන, ප්‍රවාහනය, ඉන්ධන යනාදිය ඇතුළු පිරිවැය ලෙස. රුපියල් ලක්‍ෂ 12ක පමණ මුදලක් දරා ඇති බවයි. තත්වය එසේ තිබියදී මෙම වසරේදීද අනිද්දා (11දා) අම්පාර, කොණ්ඩවට්ටුවාන වැව් ඉස්මත්තේදී මී පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව මේ පිළිබඳ වූ වැඩිදුර තොරතුරු විමසීමක් ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිලධාරීවරයා වන පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතාගෙන් සිදුකළ අතර, 2021 වර්ෂයේ සිට වූ මී පැළ සංඛ්‍යාව ඔහුට නිශ්චිතව මතකයේ නොමැති බවට සඳහන් කළේය. එසේම අදාළ 'මී පැළ 50,000ක්” රෝපණය කිරීමේ වැඩසටහන යටතේ මී පැළ 50,000ක් නොව ඊට අඩු සංඛ්‍යාවක් අමාතයාංශයෙන් සපයා දුන් බවත්,

එහිදී අමාතශය සැපයුවේ පැළ 2,000ක්ද නැතහොත් 3,000ක්ද යන්න පිළිබඳ තම මතකයේ නොමැති බවත් ඒ මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2021 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිය වැඩසටහන් 10ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, කෝවිඩ් තත්වය හමුවේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ, වීරවීර වැව් ඉස්මත්තේදී පවත්වන ලද ආරම්භක වැඩසටහන පමණක් වන බවයි. ඒ අනුව එහි 02වැනි වැඩසටහන අම්පාර, කොණ්ඩවට්ටුවාන වැව් ඉස්මත්තේදී අනිද්දා ක්‍රියාත්මක කරන බවද ගාමිණී විජේසිංහ මහතා පැවසීය. මේ අතර වැඩසටහන සඳහා අවශ්‍ය මී පැළ සපයා ගන්නේ කෙසේද සහ ඒ සඳහා පරනු ලබන පිරිවැය කොතෙක්ද යන්න පිළිබඳවද අතිරේක ලේකම්වරයාගෙන් විමසීම් කළ අතර, ඊට පිළිතුරු ලබාදෙමින් හෙතෙම ප්‍රකාශ කර සිටියේ,

මී පැළ සඳහා කිසිදු පිරිවැයක් අමාත්‍යාංශය විසින් නොදරන බවත්, ඒවා පරිසර අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නොමිලේ . අමාත්‍යාංශයට ලැබෙන ඒවා වන බවත්ය. ඒ අනුව පැළ2,000ක් පමණ එළඹෙන වැඩසටහන සඳහා ලබාදීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කරන අතර, එහි ද සම්බන්ධීකරණ කටයුතු  කොළඹ විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලබන බවද අතිරේක ලේඛම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(දර්ශනී වික්‍රමසිංහ ADA)