minuwangoda-incident

මිනුවන්ගොඩ,වත්තේගෙදර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (07දා) රාත්‍රී අයුතු ලෙස ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවැසියන්ට පහර දී නිවසේ සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (08දා) පැවසීය. පැහැර ගත් එම සිසුවිය ඊයේ (08දා) දහවල් වන විටත් සොයාගෙන  නොතිබුණි. කඩු පොලු රැගත් කණ්ඩායමක් වත්තේගෙදර ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත (07දා) රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තිබේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට කලහකාරී ලෙස හැසිරෙමින් සිටි කණ්ඩායම සිසුවිය රැගෙන පළා ගොස් තිබූ බවද පොලීසිය පවසයි. කලහකාරී කණ්ඩායමේ එක් අයකු පැමිණිලිකරුගේ ප්‍රකාශ මත හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට යැමේදී සැකකරු පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමේ උඩ කොටසේ කොලරයෙන් අල්ලා පොලිස් නිලධාරියාට පහර දීමට තැත් කර රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවද පොලීසිය කීය. එම සැකකරු රාජ්‍ය ඇමතිවරයකුගේ නමක් පවසමින් පොලිස් නිලධාරීන් මාරු කරන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුවිය සොයා ගැනීමටත් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බව පවසයි.