basil-parliament

වර්තමානයේ රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාස. 03කින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කර නොමැති බවත්, ඒ අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් කරන ලෙසට නියෝගයක් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (10)දා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් පළ කරමිනි.

මුදල් අමාත්‍යවරයා පසුගිය කාලයේ විටින් විට පාර්ලිමේන්තුවට පැමිණි බවත්, ආර්ථික ප්‍රශ්න සඳහා මුදල් ඇමතිවරයාගේ එකඟත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දී තිබෙන බවත් එහිදී අදහස් පළ කරමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභාවට පැමිණෙන ලෙස සඳහන් කිරීමට හෝ ඇමතිවරුන්ට ප්‍රකාශ කිරීම සඳහා බලපෑම් කිරීමට තමාට අයිතියක් නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ඒහිදී සඳහන් කළේය.




විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල -

අපේ රටේ ව්‍යවස්ථාවේ 148වැනි වගන්තිය යටතේ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මුදල් ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ අන්තිමට කතාවක් කළේ පසුගිය දෙසැම්බර් 10 වැනිදා. අදට මාස 03ක් වෙනවා. මේ මාස 03 ඇතුළත මේ පාර්ලිමේන්තුවට මෙතුමා අපේ රටේ මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයක් කරලා නෑ. ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. එතුමා ආණ්ඩු පක්ෂයේ රැස්වීම කැඳවලා කරුණු කිවා. නමුත් මාස 03ට වචනයක්වත් එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ද නෑ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කථානායකතුමා. ඔබතුමා කථානායකවරයා ලෙස වහාම නියෝගයක් කරන්න මුදල් ඇමතිවරයාට පාර්ලිමේන්තුවට ඇවිත් මූල්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක් කරන්න කියලා. මම මේක කියන්නේ රට බංකොළොත් නිසා. මම නියෝගයක් ඉල්ලනවා ඔබතුමාගෙන්.




සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන -

 හැමදාම සංවිධායකතුමා නැගිටලා ව්‍යවස්ථාවේ මේ දේ තියනවා කියලා කියනවා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව කිරීමෙන් පස්සෙත් අන්තිම දවසේ අයවැය ලේඛනය සාකච්ඡා කිරීම දක්වාත් මේ සභාවට විටින් විට ආවා. ඊටපසුත් මේ සභාව රැස්වුණු අවස්ථා ගණනාවක මේ සභායට ආවා. පළමුවෙන් එතුමා ආවේ නෑ කියන එක ඉල්ලා අස්කරගත යුතුයි.

මේ අසත්‍ය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මේ බොරුව ගෙනියන්නේ රටට විරුද්ධව. ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා මුදල් ඇමතිතුමාගේ එකඟත්වයෙන් පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ වගේම මුදල් ඇමතිතුමා කරන ප්‍රකාශ සෑම එකක්ම ඔබතුමන්ලා විවාද කරලා තිබෙනවා මේ සභාවේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගමන් කිරිඇල්ල -

 මම හැන්සාඩ් වාර්තා ඒ අනුව කතා කරන්නේ. එතුමා අන්තිමට කතා කළේ දෙසැම්බර් 10ය. අද මාර්තු 10. මේ ව්‍යයසනය ගැන එතුමා වචනයක් කතා කරලා නෑ.එතුමා ලෝකේ වටේ යනවා හිඟාකමින්. යුද්දයක් තිබෙන රුසියාවෙනුත් ගිහින් ඩොලර් මිලියන 300ක් ඉල්ලුවා. ලැජ්ජ නැද්ද?


කථානායක මහින්ද යාපා අබේවර්ධන -

  මට කථානායකවරයා වශයෙන් මන්ත්‍රීවරුන්ට සභාවට පැමිණෙන්න කියලා නියෝග කරන්න බෑ. මාස 03ක් පැමිණියේ නැතිනම් විනය පියවර ගන්න පුළුවන් ස්ථාවර නියෝග යටතේ. ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න කියලා බල කරන්නත් මූලාසනයට අයිතියක් නෑ.




විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරීඇල්ල -

   මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඔබතුමා පාර්ලිමේන්තූවේ බලය ආරක්ෂා කරන්නේ නැති නම් ඔබතුමා මොනවාද මෙතන කරන්නේ?


කථානායක මහින්ද යාපා අබේවර්ධන -

  ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න කියලා බල කරන්න මට අයිතියක් නෑ.ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු -

   මුදල් ඇමතිතුමා ගැන විපක්ෂයේ සංවිධායකතුමා කිව්වා මේ වාර්තා ඉදිරිපත් කරලා නෑ කියලා. ඒවා කලට වේලාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් විපක්ෂනායකවරයා 27/2 යටතේ ආර්ථිකය ගැන අහපු හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දුන්නා. කිරිඇල්ල මන්ත්‍රීතුමා උදේ පාන්දර නැගිටලා මොනවා හරි කියනවා. එතුමා කියන ඒවා ටීවි එකේ යන්නෙත් නෑ.