6-months-relief-for-those-who-run-out-of-drivers-license-cards-and-expire-in-April

රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගනු ලබන සුහුරු කාඩ්පත් ගෙන්වීමට විදේශ විනිමය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ලබන අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා තෙක් කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව කල් ඉකුත් වන දින සිට මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එමෙන්ම ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා තෙක් කාලයේදී කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලයද කල් ඉකුත් වන දින සිට මාස තුනකින් දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබේ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් ගෙන්වීම සඳහා අවශ්‍ය යූරෝ හය ලක්ෂ අනූ දහසක විදේශ විනිමය මහා භාණ්ඩාගාරයේ නොමැති වීමෙන් පසුගිය ජනවාරි මාසයේ සිට ඒකරාශී වී ඇති රිය බලපත් දෙලක්ෂ අටදහසක ප්‍රමාණයක් මුද්‍රණය කරගත නොහැකි තත්ත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබේ.

පවතින එම තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලික රියැදුරු බලපත්‍රයක් ඉල්ලුම්කරුවන් වෙත ලබාදීමට පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා වසරක වලංගු කාලයක් ලබාදීමට සැලසුම් කර ඇත.